Latestදේශීය

ක්‍රිප්ටෝ වංචාවෙන් රුපියල් කෝටි 5000ක් චීනයට යවලා

(නිමන්ති රණසිංහ)

අන්තර්ජාලය මඟින් ක්‍රිප්ටො මුදල් ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දීමට යැයි පවසා ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් වංචා කළ චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් තිස්නව දෙනා රුපියල් කෝටි 5000ක මුදලක් චීනයට යවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (18) කරුණු වාර්තා කළේය.

මෙම සැකකාර චීන ජාතිකයන් ඇතුළු විදේශිකයන් 39 දෙනා වංචා කළ මුදල් ශ්‍රී ලංකාවේ ගිණුම් 46ක ගිණුම් හිමියන් මිලට ගෙන එමඟින් බයිනෑන්ස් (යූ.එස්.ඩී.ටී.) ගිණුම් 44ක් හරහා චීන රාජ්‍යයේ බයිනෑන්ස් ගිණුම් වෙත යවා ඇති බවට හෙළිවූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහ චීන පොලිසියේ විශේෂ කණ්ඩායම් දෙකක් නුදුරේදීම මෙරටට පැමිණීමට නියමිත බවට දන්වා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරුවන් මෙරට ජනතාවගෙන් වංචා කළ රුපියල් ලක්ෂ 800ක මුදලක් උපයා ගැනීමෙන් පසු එය සමරා ඉකුත් ජූනි මස 22 වැනිදා මීගමුව ප්‍රදේශයේ සුපිරි හෝටලයක සාදයක් පවත්වා ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම මහා පරිමාණ ජාවාරමේ ප්‍රධාන සැකකරුවන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඩුබායි රාජ්‍යයේ සිට මෙවැනිම ජාවාරමක නිරත වීම හේතුවෙන් එරටින් පලවා හැර ඇති බවට කරුණු හෙළිවී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම මහා පරිමාණ වංචාව සම්බන්ධයෙන් චීනය, පාකිස්තානය, ඉන්දියාව, ඩුබායි සහ බොල්වියාව යන රටවල මෙරට තානාපති කාර්යාල දැනුවත් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම වංචා සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ (18) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වූ අතර පැමිණිල්ල වෙනුවෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති යූ.බී. ගල්වල, පොලිස් පරීක්ෂකවරුන් වන පෙරේරා, ප්‍රේමරත්න, පොලිස් සැරයන් (60156) ජයතිලක සහ පොලිස් සැරයන් බණ්ඩාර යන නිලධාරීහු අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළහ. මෙම මහා පරිමාණ වංචාවේ ප්‍රධාන සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා වන චීන ජාතිකයන් තිදෙනා සම්බන්ධයෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් ද ඊයේ (18) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සාක්ෂිකරුවන් විසින් එක් සැකකරුවකු හඳුනාගනු ලැබ තිබිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, මෙම වැටලීමෙන් අත්අඩංගුවට ගත් රුපියල් ලක්ෂ 22ක මුදල අධිකරණ බැංකු ගිණුමේ තැන්පත් කළ අතර අත්අඩංගුවට ගත් විදේශ මුදල් මහ බැංකුව වෙත භාරදුන් බවත් ඒ අනුව රුපියල් එක්කෝටි හත් ලක්ෂයක මුදලක් එලෙස භාරදුන් බවය.

මෙම සැකකරුවන්ගෙන් බන්ධනාගාරයට ගොස් ප්‍රකාශ සටහන් කරගත් අතර, එහිදී ශ්‍රී ලාංකිකයන්ගේ ගිණුම් 48ක බයිනෑන්ස් ගිණුම් 24ක් මඟින් මෙරටින් මුදල් චීනයට යවා ඇති බවත් මෙවැනිම ආකාරයෙන් ඩුබායි රාජ්‍යයේ බැංකු ගිණුම් 100ක් මඟින් එරට මුදල් වංචා කර ඇති බවටත් කරුණු හෙළි වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. මෙම මහා පරිමාණ මුදල් වංචාවට ශ්‍රී ලාංකිකයකු වන මතීෂ නමැත්තකු සම්බන්ධ බවට කරුණු හෙළි වී ඇති බවත් ඔහුගේ සහ තවත් චීන ජාතිකයන් දෙදෙනකුගේත් විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එසේම, මෙම සැකකරුවන් මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ හෝටලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති අතර, මහල් තුනකින් යුත් එම හෝටලය මසකට රුපියල් ලක්ෂ 80ක මුදලකට කුලී පදනම මත ලබාගෙන මාස තුනක් තිස්සේ මෙම ජාවාරම සිදුකර ඇති බවට කරුණු හෙළි වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව එම හෝටලය සම්බන්ධයෙන් ද විමර්ශන පැවැත්විය යුතුව ඇති බැවින් එය විකිණීම පැවරීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙසට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීය.

මෙම සැකකරුවන් ශ්‍රී ලංකාව, බොල්වියාව, චීනය, ඩුබායි යන රටවල් ඉලක්ක කර ගනිමින් මෙම මහා පරිමාණ ජාවාරම සිදු කරමින් සිටින සංවිධානාත්මක කණ්ඩායමක් බවත් මෙය මෙහෙයවන්නන් චීන ජාතිකයන් බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ මොවුන් සංචාරක වීසා මත මෙරටට පැමිණ මෙම ජාවාරම සිදු කර ඇති බවය. සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ මඬුල්ල ඉල්ලා සිටියේ තම සේවාදායකයන්ට කුමන හෝ ඇප කොන්දේසියක් මත ඇප ලබා දෙන ලෙසය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරමින් නඩුව ලබන ජූලි මස 25 වැනිදා තෙක් කල් තබා එදින තෙක් සැකකරුවන් 39 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කළේය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *