සිමෙන්ති ලොරිය පෙරලී රියදුරු මියයයි
(කේ.ඒ. සුනිල් – කුරුවිට)
හම්බන්තොට සිට කෑගල්ලට සිමෙන්ති ටොන් තිහක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් තිරිංග ක්‍රියා විරහිතවීමෙන් රත්නපුර පතුල්පාන ප්රදේශයේදී ලොරි දෙකක ගැටී මාර්ගය අයිනේ නවතා තිබූ තවත් ලොරියක් ද සමඟ ඊයේ (07) පෙරවරු 7.30ට පමණ දොඩංගහ ඇළට පෙරැළී යෑමෙන් සිදුවූ අනතුරකින් සිමෙන්ති ලොරියේ රියැදුරා එම ස්ථානයේදීම මරණයට පත්ව ඇත.
මේ අනතුර ඇසින් දුටුවකු පැවසුවේ සිමෙන්ති ලොරියේ රියැදුරා ලොරියේ රියැදුරු අසුන ආසන්නයේ ජනේලයෙන් බෙල්ල එළියට දමා බ්‍රේක් නැති බව කියමින් කෑගැසූ බවයි. රියැදුරා වම්පස ඉවුරට ලොරිය යොමු කර කණ්ඩියේ වද්දවා ලොරිය නවතා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ ඉදිරියෙන් මගී බස් රථයක් පැමිණි බව ද ඇසින් දුටු පුද්ගලයා පැවසීය.
මගී බස් රථයේ රථය ගැටුණි නම් විශාල ජීවිත හානියක් සිදුවීමට ඉඩ තිබුණු බවත් ලොරියේ රියැදුරු එම අනතුර වළක්වා ගනිමින් ලොරිය දකුණට කැපීමේදී ඒ ආසන්නයේ තිබූ වෙනත් ලොරියක ගැටී මේ සිමෙන්ති පැටවූ ලොරිය ගැටුණු බවත් ඔහු පවසයි. අනතුරුව ඒ ආසන්නයේම නවතා තිබූ තවත් ලොරියක ද ගැටී එම ලොරිය ද සමඟ සිමෙන්ති පැටවූ ලොරිය දොඩංගහ ඇළට පෙරැළී ගොස් ඇත.
ප්රදේශවාසීන් හා පොලිස් නිලධාරීන් එක්ව ලොරියේ සිරවී සිටි රියැදුරා ලොරියෙන් එළියට ගෙන සුවසැරිය ගිලන් රථයක් මඟින් රත්නපුර ශික්ෂණ රෝහලට පිටත් කර යැවීමට කටයුතු කර ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇත. පසුව දොඹකරයක් ආධාරයෙන් ලොරිය ඔසවා තවත් අය සිටීදැයි විමසා බැලීමට කටයුතු කළත් වෙන කිසිවකු සොයා ගැනීමට නොහැකි විය.
රත්නපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් අබේසිරි මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් සංජීව මහතාගේ ප්රධානත්වයෙන් රථ වාහන අංශයේ නිලධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ කරන අතර, පොලිසිය සැක කරන්නේ මේ අනතුරට හේතුව ලොරියේ තිරිංග අක්රියවීම බවයි. ප්රදේශවාසීන් පවසන්නේ මේ ස්ථානය අනතුරු බහුලව සිදු වන ස්ථානයක් බවයි. මේ අනතුර සිදු වූ ස්ථානය අධික බෑවුම් සහිත ස්ථානයක් වන අතර, මාර්ගයේ එක් පසක් කන්දක් සහිත ප්රදේශයක් වන අතර අනෙක් පස බෑවුම් සහිත ප්රදේශයකි. මේ බෑවුම් ප්රදේශයේ දොඩංගහ ඇළ පිහිටා ඇත.
@දිනමිණ