Latestදේශීය

පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් අපි හදනවා – අනුර දිසානායක

අපේ වැඩපිළිවෙළේ ප්‍රමුඛතම කාර්යය පුරවැසියන්ට `පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ලබාදීම යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.



ඔහු මේ බව වධාරණය කළේ ශ්‍රී ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හිදී ඊයේ (26) පෙරවරුවේ පැවති ජාතික ජන බලවේගයේ ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අවස්ථාවේදී ප්‍රධාන දේශනය සිදු කරමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක,



“අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ඉතා සැලසුම් සහගතව ක්ෂේත්‍ර ගණනාවක වැඩ කරමින් හිටියා. මේ කඩා වැටී තිබෙන රට ගොඩනැගීමට නම් අපි බලවේග එකතු කළ යුතුයි. ඒ සඳහා අපි විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායම් එකතු කර ගනිමින් ඒ අය බලමුළු ගන්වමින් ඉදිරියට ආවා. ඒ විතරක් අපිට ප්‍රමාණවත් නැහැ. අපි ශක්තිමත් මතවාදයක්ද ජනතාව අතරට ගෙන යා යුතුයි. දීර්ඝ කාලයක් මේ රට වැටී තිබෙන අගාධය පිළිබඳව, ඊට හේතු පිළිබඳව සහ ඉන් ගොඩ යන්නේ කෙලෙසද යන්න පිළිබඳව මේ රටේ ජනතාව සමග සාකච්ඡා කළා. ඒ සියල්ල සම්පිණ්ඩනය කරලා අපේ රටට විධිමත් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම තමයි අපේ ඊළඟ අදියර වුණේ. ඒ අදියර තමයි අපි මේ මොහොතේ සම්පූර්ණ කරලා තිබෙන්නේ. අපිට ශක්තිමත් මතවාදයක් තිබෙනවා. ශක්තිමත් බලවේගයක් තිබෙනවා. ඊට නායකත්වය දිය හැකි නායකත්ව මණ්ඩලයක් ඉන්නවා. ඒ වගේම අප රට ගොඩනැගිය හැකි මාවතද අප සතුව තිබෙනවා. අපේ රටේ ජයග්‍රහණයේ මාවත සැප්තැම්බර් 21 උදාවෙනවා.

අපේ මේ වැඩපිළිවෙළ සකස් කිරීම සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ක්ෂේත්‍ර 39ක කරුණු ගොනුකරමින් සාකච්ඡා කළා. අධ්‍යයනය කළා. බොහෝදෙනා මේ කාර්යය සඳහා තම කාලය, දැනුම නිර්ලෝභීව ලබා දුන්නා. ඒ සියලු දෙනාටම අපේ ස්තුතිය පිරිනමනවා. ඒ වගේම රටේ විවිධ තලවල ඉන්න ජනතාවත් සමග, ඒ ඒ ක්ෂේත්‍රවල ඉන්න ප්‍රවීණයන් සමග මේ වැඩපිළිවෙළ පිළිබඳව අපි සංවාදයක් කළා. කරුණු එකතු කළා. ඒ නිසා අපි උඩ සිට බලන ක්‍රමවේදයකට වඩා ඒ ඒ ක්ෂේත්‍රවල සිටින ජනතාවගේ අවබෝධය, අත්දැකීම් සහ ඔවුන්ගේ වුවමනාවන් අපේ වැඩපිළිවෙළ තුළ අඩංගු විය යුතුව තිබුණා. ඒ අත්දැකීම් සියල්ල පදනම් කරගෙන අද අපිට “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” කියන තේමාව මුල් කරගෙන දියුණු සහ සාර්ථක වැඩපිළිවෙළක් එළිදක්වන්න පුළුවන් වුණා.

වඩාත් ගැඹුරින් සාකච්ඡා කළ යුතු කරුණු පිළිබඳවත් ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ වැඩපිළිවෙළ පිළිබඳවත් දියුණු සහ ගැඹුරු වැඩපිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. ඉංජිනේරු ක්ෂේත්‍රය, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය, ආර්ථික, සමාජ, අධ්‍යාපන, සෞඛ්‍යය ආදිය ඇතුළත් සමාජයේ සියලු ක්ෂේත්‍ර පිළිබඳව හා ඒවා ගොඩනංවන ආකාරය පිළිබඳව විධිමත් සැලසුම් මේ වැඩපිළිවෙළ තුළ අපි ඉදිරිපත් කර තිබෙනවා. ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළේ අඩංගු වන්නේ එම සියලු ක්ෂේත්‍රවල සාරාංශයක් පමණයි. වැදගත් ක්ෂේත්‍ර සියල්ලේම එකිනෙකට අදාළ පුළුල් වැඩපිළිවෙළ අපි වෙන වෙනම ඉදිරිපත් කරනවා.

පසුගිය කාලයේ අපේ වැඩපිළිවෙළ ගැන, අපි ගැන අපිට වඩා කතාකළේ වෙන අය. අදත් අපේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන, අපේ ආණ්ඩුකරණය පිළිබඳව වැඩිපුරම කථා කරන්නෙ වෙන අය. අපි ගොඩාක් ඒවට පිළිතුරු ලබා දෙන්න යන්නේ නැහැ. අපි අනවශ්‍ය සංවාදයක, අනවශ්‍ය දේවල් සමග ගැටුමකට මැදිහත් වෙන්න යන්නේ නැහැ. නමුත් අපි අද ඒ සියලු අවලාද, අසත්‍ය, විකෘති කරන ලද තොරතුරු ඒ සියල්ලටම ශක්තිමත් පිළිතුරක් ලබාදී තිබෙනවා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන මේ වැඩපිළිවෙළ තමයි අපේ භාවිතය. ඔවුන්ට හිමි භාවිතය තමයි, අසත්‍ය, අවලාද, විකෘති කරන ලද තොරතුරු ප්‍රචාරය කිරීම. ඒක ඔවුන් තෝරා ගන්නා මාවත. මේක තමයි අපි තෝරා ගන්නා මාවත.



මෙම වැඩපිළිවෙළ තුළ ගැබ්වෙලා තිබෙන කරුණු කිහිපයක් අවධාරණය කරන්න මම කැමතියි. මේ රට පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙනවා. ඒ කියන්නේ ඕනෑම ක්ෂේත්‍රයක ඕනෑම පුරවැසියෙකු අපිට මුණ ගැසුණොත් එයාට කියන්න තිබෙනවා ඒ ක්ෂේත්‍රය පිළිබඳ ඛේදනීය කතාවක්. අපි නීතියේ විධානයේ ආධිපත්‍ය දරන කණ්ඩායම්වල උදවිය හමුවුණොත් ඔවුන් එම ආයතනවල පද්ධතිය කඩා වැටිලා තිබෙන අන්දම නීතියේ විධානයේ ආධිපත්‍යය පවත්වාගෙන යාමට තිබෙන බාධාවන් ඔවුන් අපිට පෙන්වා දෙනවා. සංචාරක කර්මාන්තයේ නියැලෙන කණ්ඩායමක් හමුවුණොත් ඔවුන්ට ඔවුන්ගේම ඛේදජනක කථාවක් තිබෙනවා කියන්න. රටේ කර්මාන්තකරුවත් හමු වුණොත් ඔවුන්ටත් ඔවුන්ගේම ක්ෂේත්‍රයේ ඛේදවාචකයක් කියන්න තිබෙනවා. අපේ ගණකාධිකාරීවරු හමුවුණොත් ඔවුන්ට ඔවුන්ගේ ක්ෂේත්‍රයේ විගණන කටයුතු ගැන කියන්න ඛේදජනක කථාවක් තිබෙනවා. අපි සංඝයා වහන්සේලා, ආගමික පූජකතුමන්ලා හමු වුණොත් ඔවුන්ටත් ඔවුන්ගේ ක්ෂේත්‍රය ගැන කියන්න ඛේදජනක කතාවක් තිබෙනවා.


ඒ කියන්නේ අපි ඉන්නේ ක්ෂේත්‍ර එකක, දෙකක අර්බුදයක නොවෙයි. සමස්ත පද්ධතියකම පවතින්නේ අර්බුදයකයි. අපේ රට සමස්ත පද්ධතියම කඩා වැටුණු රටක්. අපි කිසිවෙකුට කවර හෝ ක්ෂේත්‍රයක සුබවාදී හැඟීමක් කවර හෝ බලාපොරොත්තුවක් අද ඉතිරිවී නැහැ. සමස්ත සමාජ දේහයම කඩා වැටිලා. එනිසා මේ පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙන රාජ්‍යය යළි පුනරුදයක් කරා ගෙන යාම අපි වගකීමක් ලෙස පවරා ගන්නවා. කුඩා කුඩා ප්‍රතිසංස්කරණවලින් පමණක් මේක ගොඩදාන්න බැහැ. කොච්චර නම් කුඩා කුඩා ප්‍රතිසංස්කරණ කරලා තිබෙනවාද? මේ අර්බුදයෙන් ගොඩයන්න. ඒත් ඒවායින් සිද්ධවෙලා තිබෙන්නේ මේ අර්බුදය නැවත නැවතත් ප්‍රතිපෝෂණය වෙන එකයි. මේ සමස්ත පද්ධතියම වෙනස්කොට ගොඩනැගීම තමයි ජාතික ජන බලවේගය බාර අරගෙන තිබෙන්නේ. මුල සිට ලස්සන වියමනක් කරන්න අපට සිදු වී තිබෙනවා. අපි අපේ වැඩපිළිවෙළ මේ අර්බුදය පියවරෙන් පියවර විසඳීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් දමා තිබෙනවා. මේ නූල්බෝලයක් වගේ පැටලී තිබෙන අර්බුදයෙන් පියවරෙන් පියවර මිදිලා “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” අපේ පුරවැසියන්ට ලබාදීම තමයි අපේ වැඩපිළිවෙළ් ප්‍රමුඛතම කාර්යය වෙලා තිබෙන්නේ.



පළමු කොටම මේ රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කළ යුතුයි. නීතිය ඉදිරියේ සියලු පුරවැසියන් සමානයි කියන මූලධර්මයට අපි යළි පණ දිය යුතුයි. පවතින කැත දේශපාලන සංස්කෘතිය වෙනස් කර, යළි අපේ රටේ පුරවැසියන්ට නීතිය පිළිබඳ විශ්වාසය ගොඩනැගිය යුතුයි. මහා පරිමාණ මිනිස් සංහාරයක් කරලා, මහාපරිමණ මහජන ධනය මංකොල්ල කාලා, එහෙම කෙනෙකුටත් මේ රටේ ජනාධිපති පුටුවේ වාඩිවෙන්න පුළුවන් කියන විශ්වාසය ජනතාව තුළ ගොඩ නැගුණොත් ඒ රටට මොකද වෙන්නේ. අද දේශපාලන හස්තයට යට වී තිබෙන නීතිය ක්‍රියාවට නඟන ආයතන පද්ධතිය අපි ඉන් සම්පූර්ණයෙන්ම මුදා ගන්නවා.



අපේ රටේ මුළු දේශපාලන ව්‍යුහයම සකස් වී තිබෙන්නේ අනෙකාට එරෙහිවයි. එනිසා දීර්ඝ කාලයක් තිස්සේම අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර සමගිය සැබෑ ලෙසම ඇති කරන්න නොහැකි වී තිබෙනවා. සමගිය නිර්මාණය කිරීම වගන්ති ඇතුලේ, නීතිය ඇතුලේ, අයිතීන් ඇතුලේ විතරක් කරන්න බැහැ. සමගිය නිර්මාණය කිරීමේ ප්‍රධාන කාර්යය තිබෙන්නේ දේශපාලනය තුළයි. අනෙකාට එරෙහි දේශපාලනයකින් සමගිය නිර්මාණය කරන්න බැහැ. අනෙකාගෙ ගරුත්වය, පිළිගැනීම බිඳ දමන දේශපාලනයකින් සමගිය, ජාතීන් අතර සමගිය නිර්මාණය කරන්න බැහැ. ශිෂ්ට සමාජයක් රඳාපවතින්නේ සාමූහිකත්වය මතයි. තනි පුද්ගල ආධිපත්‍යය මත ශිෂ්ට සමාජයක් නිර්මාණය කරන්න බැහැ. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු වගන්තිය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අපි අඩංගු කර තිබෙනවා.

අමාත්‍ය ධුර ගොඩනැගීමක් ආණ්ඩුකරණයට ඉතා වැදගත්. පාලකයාගේ සිතැඟි පරිදි අමාත්‍ය ධුර ගොඩනගන එක නොවෙයි අපේ පාලනයක් යටතේ අපි කරන්නේ. එසේ කරන්නේ ඒ පිළිබඳ විද්‍යාත්මක සැලසුමකට අනුවයි. යහපත් ආණ්ඩුකරණයක් අපි ගොඩනඟනවා. ශක්තිමත් ඉතා දියුණු රාජ්‍යතාන්ත්‍රික විදේශ ප්‍රතිපත්තියක් අපි අනුගමනය කරනවා. අපේ රට අත්තිවාරමක් නැති රටක්. ඒ නිසා රට ගොඩනගනවා නම් ශක්තිමත් අත්තිවාරමක් තිබිය යුතුයි. මේ වැඩපිළිවෙළ එවැනි ශක්තිමත් අඩිතාලමක් අපට ලබා දෙනවා. ඒ මත පුරවැසියන්ට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ලැබෙන ජාතික ජන බලවේගයේ පාලනය මේ රට තුළ ගොඩනගනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *