Latestදේශීය

වරාය නගරයේ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කෙරේ

කොළඹ වරාය නගර පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා (05) පස්වරුවේ විවෘත කෙරිණ.

මෙම කලාපයේ ඉදිකරන ලද ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙය වන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල් වලින් එය සමන්විත වේ. මේ සාප්පු සංකීර්ණයෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව ප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර ඒ සමඟ කොළඹ වරාය නගරය මෙම කලාපයේ සාප්පු සවාරි ගමනාන්තයක් ලෙස පිළිගැනීමට ලක්වනු ඇත.

සමරු ඵලකය නිරාවරණය කර, සාප්පු සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර සිටියේ, මීට වසර දෙකකට පෙර වරාය නගරය මේ අයුරින් දියුණු කිරීමට හැකි වනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා නොකළ බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව තම රජය විසින් රට තුළ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ බැවින් අද වන විට වරාය නගරයේ මූල්‍ය කටයුතු ආරම්භ කිරීමට හැකි වූ බවත්ය.

සමාගම් 100ක් පමණ අද වන විට වරාය නගරය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත්, ඉන් සමාගම් 74ක් මෙම වසර අවසන් වන විට වරාය නගරයේ ආයෝජන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ද සඳහන් කළ ජනාධිපතිවරයා, මෙරට විදෙස් ණය හිමියන් සමඟ එළැඹි ගිවිසුම් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක කළහොත් රටට යහපත් අනාගතයක් උදාවන බවද පෙන්වා දුන්නේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *