Latestදේශීය

පරාජය හමුවේ වියරුව හැසිරෙන පිරිස්වල ව්‍යාජ ප්‍රචාර පිළිබඳව අවදියෙන් ඉන්න – නලින්ද ජයතිස්ස

විවිධ උපක්‍රම යොදමින් ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය ආපසු හැරවීම සදහා අසාර්ථක උත්සාහයක නිරථවන වත්මන් ආන්ඩුවේත් එමෙන්ම හිටපු ආන්ඩුවල ප්‍රභලයින්ගේත් කුමන්ත්‍රණ පිළිබදව අවදියෙන් සිටින ලෙස ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

කලින් පැවැති සියලු මැතිවරණවලට වඩා මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතාවගේ උද්‍යෝගය ඉහළ යමින් තිබෙනවා වාගේම සාමකාමීව මැතිවරණයට මුහුණ දීමේ සූදානමක් පවතිනවා. මෙම මැතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් භීතියට පත් වී සිටින මෙතෙක් සිටි කණ්ඩායම් සමහර මාධ්‍ය නාලිකා පාවිච්චි කරමින්, විවිධ අපහාස, මඩ, අවලාද ගෙන යනවා. තමන්ගේ පක්‍ෂයේ ප්‍රතිපත්ති පැහැදිලි කර දී, ජනතාවගේ ඡන්දය ලබා ගන්නවා වෙනුවට ජනතාව තුළ භීතියක් නිර්මාණය කිරීම සඳහා සමගි ජන බලවේගය, රනිල් වික්‍රමසිංහට එකතු වී සිටින පොහොට්ටු කණ්ඩායම සහ එවැනි තවත් කණ්ඩායම් ජාතික ජන බලවේගය මත ප්‍රචණ්ඩත්වයේ ලේබලය අලවන්න උත්සාහ කළා. ඔවුන් ඒ පිළිබඳව සාකච්ඡා කළ තැන්වලින්, ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු භාර දී තිබෙන පුද්ගලයන්ගෙන් සහ ආයතනවලින් අපට කල් ඇතිව තොරතුරු ලැබුණා. රටේ මහජනතාව තමන්ගේ බලයක් හැටියට මහජන බලයක් ගොඩනඟන්න සූදානමින් ඉන්නේ. අපේ ප්‍රතිවාදියාගේ ප්‍රචාරක කටයුතුවලට කුමන හෝ හේතු නිසා සම්බන්ධ වීමට සිදු වී තිබුණත්, ඔවුන්ගේ හෘදය සාක්‍ෂියට අනුව කුමන්ත්‍රණකාරී කටයුතු අප වෙත හෙළි කරමින් සිටිනවා. මෙයට මාස තුනකට පෙර ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කටයුතු භාර දුන් ආයතනය තුළින් ඔහුගේ මූලික සැලැසුම් අපට ලැබුණා. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපව සම්බන්ධ කර දැක්වීමට දරන ලද උත්සාහය මුල් වටයේදීම අසාර්ථක වුණා.

ඊට අමතරව සජිත් ප්‍රේමදාසගේ කණ්ඩායමත්, පොහොට්ටුවේ කණ්ඩායමත් එවැනිම කටයුතු සැලසුම් කර තිබුණා. අනෙකුත් සියලු කටයුතු අසාර්ථක වූ පසුව 2022 මැයි මස 09 වැනිදා කටුනායක සහ යම් වෙලාවක මත්තල ගුවන්තොටුපොළ ආශ්‍රිතව සිදු වූ යම් යම් ක්‍රියා වර්තමානයේ සිදු වන ඒවා බව පෙන්වන්න වීඩියෝ පට අලුතින් මුදාහැර තිබෙනවා. ගෝල්ෆේස් සාමකාමී අරගලයේ සිටි මහජනතාවට ආණ්ඩුවේ මැරයන් එල්ල කළ ප්‍රහාරයෙන් පසුව ඇති වූ යම් යම් සිද්ධීන් සම්බන්ධ වීඩියෝ පට මේ ලෙස මුදාහරිනවා. ආරක්‍ෂක රාජ්‍ය ඇමැති, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගෝල්ෆේස් පහර දීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන් දැයි හෙළි කළා. ප්‍රචණ්ඩකාරීන් මෙහෙයැවූ, මහින්ද රාජපක්‍ෂ සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිබඳව වීඩියෝ පටවලින් කවුරුත් දැක්කා. ගෝල්ෆේස් පහර දීමට පසුව මහජනතාවගෙන් එල්ල වූ විරෝධය හමුවේ රටෙන් පලා යාමට සූදානම් වන පිරිස් පිළිබඳව මහජනතාවගේම ඇතැම් පිරිස් පූර්ව අවධානයක සිටියා. එවැනි සිදුවීම් ඉදිරියේදී සිදු නොවන්නට ජනතාව පාඩම් ඉගෙනගෙන තිබෙනවා. අප මුලින් ම කියන්නේ, පැරැණි වීඩියෝ දැක්කාට කලබල නොවන ලෙසයි. මාලිමාවේ යැයි හැඟවෙන දුරකථන ඇමතුම් ලබාදී සමහර අයට තර්ජනය කිරීම් පිළිබඳව අපට වාර්තා වෙනවා. එවැනි තර්ජනය කිරීම් ලැබෙන දුරකථන අංක පිළිබඳව වහාම ළඟම තිබෙන පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපටත් ඒ පිළිබඳව දැනුම් දුන්නොත්, අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු කරනවා. අපට ඡන්දය නොදෙන හෝ වෙනත් මතයක් දරන කිසිවකුට මෙවැනි දුරකථන ඇමතුම් ලබා දීමේ කිසිදු අවශ්‍යතාවක් අපට නැහැ.

අපට චෝදනා එල්ල කිරීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ඇති වූ ප්‍රශ්නය, මහජන පුස්තකාලයේ පහර දීම වාගේම ඉඳුරුව රෝහලේ රෝගියකු සම්බන්ධ සිද්ධියක් ආදී වශයෙන් හුදෙකලා සිදුවීම් නිර්මාණය කරන්න ඔවුන් උත්සාහ කළා. එයද අසාර්ථක වුවත්, එවැනි ක්‍රියාමාර්ග ඉදිරි දින කිහිපයේ දීත් ගත හැකි බවට අපි අනතුරු අඟවනවා. තවත් සමහර තැනක මාලිමාවේ ටී ෂර්ට්, කැප් තොප්පි පැළඳගෙන ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට උත්සාහ කළොත්, වහාම පොලිස් ස්ථානවලට දැනුම් දෙන්න. දැන් සිටින පාලකයන් මෙන්ම පැරැණි පාලකයන්ද මහජන බදු මුදල්වලින් ගෙවූ නාස්තිකාර ජීවිත අහිමි වීම වැළැක්වීමට මේ වැනි කූට උපක්‍රම යොදන්න උත්සාහ කරනවා. නිල නිවාසවල හැඳි-ගෑරුප්පු, ඇඳ-ඇතිරිලි, මදුරු කොයිල් වැනි දේ පවා ගන්නේ මහජනතාවගේ බදු මුදල්වලින්. ඒ වරප්‍රසාද අහිමි විම පිළිබඳව භීතියට පත් වූවන් ගෙන යන ප්‍රචාරවලට හසු වෙන්න එපා. සැප්තැම්බර් 22 වැනිදායින් උදා වන්නේ පශ්චාත් මැතිවරණයේ සාමකාමීම අවස්ථාවක්. අලුත් ජනාධිපතිවරයා විසින් නීතිය හා සාමය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට, පොලිසියේ ස්වාධීනත්වය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අවකාශය සලසා දෙනවා. තව පැත්තකින් ජනතාවගේ හදවත් තුළ තිබෙන ආගමික භක්තිය මැතිවරණ වෙනුවෙන් යොදා ගන්නා ආකාරය අප 1950 ගණන්වල සිටම දැක තිබෙනවා. අවශ්‍ය වේලාවට ආගම ඔවුන්ගේ දේශපාලන තුරුම්පුවක් ලෙස යොදා ගන්නවා. විශේෂයෙන් සජිත් ප්‍රේමදාසගේ ගෝලයන් විසින් ඉතාමත්ම සාහසික සහ මුග්ධ ලෙස හාමුදුරුවන් වහන්සේලා තුන්නමකුත් යොදාගෙන තිබෙනවා. මහා සංඝරත්නය මෙන්ම බෞද්ධ ජනතාවත් මේ ප්‍රචාර පිළිගන්නේ නැහැ. නමුත්, සමාජ මාධ්‍යවල මෙන්ම ප්‍රධාන මාධ්‍යවලත් යම් ඉඩක් ඒ වෙනුවෙන් යොදාගෙන තිබෙනවා.

අප යළි යළිත් අවධාරණය කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව වැනි වගන්තියේ සඳහන් පරිදි බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දී බුදුදහම පෝෂණය කිරීමේ වගකීම රජය සතුව පවත්වාගෙන යන බවයි. ඒ වාගේම කතෝලික, හින්දු, ඉස්ලාම් කියන අනෙකුත් ආගම්වලටත් අවශ්‍ය පහසුකම් ලබා දීමට රජය ක්‍රියා කරන අතර, ඒ ආගම් ඇදහීමට ජනතාවට තිබෙන අයිතිය පිළිගන්නවා. එසේ තිබියෙදී, සජිත් ප්‍රේමදාසගේ කොන්ත්‍රාත්තුව භාර ගත් හාමුදුරුවන් වහන්සේලා කිහිප නමක් සහ තවත් කිහිප දෙනෙක් දිගින්දිගටම අසත්‍ය ප්‍රචාර ගෙන යනවා. මෙයට අදාළ එක පෝස්ට් එකක්වත්, එස්.එම්.එස්. එකක්වත් ෂෙයාර් කරන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි පෝස්ට් නිර්මාණය කරන අයට එරෙහිව දැනටමත් නීතිමය කටයුතු ආරම්භ කර තිබෙනවා. තවත් පැමිණිලි ප්‍රමාණයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා. ඒ වාගේම වීඩියෝ පට විකෘති ලෙස සංස්කරණය කරමින්, මුදාහරිමින් සිටිනවා. අපේ ඕනෑම ප්‍රතිපත්තියක් විවේචනය කළාට කමක් නැහැ. ඒ අයිතිය ජනතාවට තිබෙනවා. අප පිහිටුවන්නේ, භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ජනතාව වෙත උපරිම වශයෙන් තහවුරු කෙරෙන ආණ්ඩුවක්. සජිත් ප්‍රේමදාස, තුෂාර ඉඳුනිල්, තිස්ස අත්තනායක, සුජීව සේනසිංහ, පාහියංගල ආනන්ද සාගර හිමි වැනි අය ගෙන යන කූට ප්‍රකාශ සහ කූට ලේඛන සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශවලට අපි කර තිබෙන පැමිණිලි පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ආකාරය ගැන අප විමසිල්ලෙන් සිටිනවා.

මේ රටේ ජනතාව එක කොඩියක් යටට එකතු වී අලුත් දේශපාලන ගමනක් යන්න සූදානම් වීම නොඉවසන පිරිස් දෙමළ සහ මුස්ලිම් ජනතාව රවටමින් සිටිනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඒ ලෙසම ක්‍රියාත්මක කරන බවට සමහර කණ්ඩායම් සමහර තැන්වලදී පොරොන්දු දී තිබෙනවා. දකුණට ඇවිත්, එවැනි පොරොන්දු වහන්න ආගම් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති කරන්න උත්සාහ කරනවා. බෞද්ධ ජනතාව වාගේම මුස්ලිම් ජනතාව තුළත් භීතියක් ජාතික ජන බලවේගයට එරෙහිව ඇති කරන්න පත්‍රිකා බෙදමින්, උත්සාහ කරන කණ්ඩායම් පිළිබඳව අපට වාර්තා වී තිබෙනවා. රාවුෆ් හකීම්ට එරෙහිව එන්තරවාසියක් යැවුවා. ඉන් පසුව ඔහුගේ ප්‍රකාශය නිවැරදි කර ගන්න උත්සාහ කර තිබුණා. නමුත්, සමහර කණ්ඩායම් මුස්ලිම් පල්ලි ළඟ අපට එරෙහිව පත්‍රිකා බෙදීමට සූදානම් වීමේ තොරතුරු ලැබී තිබෙනවා.

මේ බංකොලොත් දේශපාලනයට රටට අනාගතයක් උදා කරන්න බැහැ. අපට ලෝකයේ අත්පත් කරගත යුතු තැනක් තිබෙනවා. ඒ වෙනුවෙන් ආර්ථික ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් ලබා දී රට ගොඩනඟන්න ඕනෑ. විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ ගෝලබාලයෝ රොත්ත තමන්ගේ ප්‍රතිපත්ති ජනතාවට පැහැදිලි කරනවා වෙනුවට අපට එරෙහිව මඩ, අවලාද ප්‍රචාර දියත් කරමින් සිටිනවා. තව පැත්තකින් සැප්තැම්බර් 21 අනුර සහෝදරයා ජයග්‍රහණය කළාම රටේ තෙල්, ගෑස්, භාණ්ඩ හිඟයක් ඇති වන බවට ප්‍රචාරය කරන්නට උත්සාහ කරමින් සිටිනවා. නමුත්, මෙවැනි ප්‍රචාරවලට කිසිසේත් ම බිය නොවන ලෙස අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි ඡන්දයක් වැනි අවස්ථාවල ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා රටවල් විසින් තමන්ගේ මෙරට තුළ සිටින පුරවැසියන් වෙත සාමාන්‍යයෙන් නිකුත් කරනු ලබන නිවේදනයක් තිබෙනවා. තමන්ගේ රටවල පුරවැසියන් විදේශ රටවල සංචාරයේ යෙදෙන අවස්ථාවල දී සංචාරක ගමනාන්තයේ රටවල් තුළ මැතිවරණ පවත්වනවා නම්, ඔවුන් සාමාන්‍යයෙන් මෙවැනි නිවේදන නිකුත් කරනවා.

ප්‍රචාරක කටයුතුවලට ඉතිරි වී තිබෙන අවසන් පැය 36 සහ ඉන් පසුව ඡන්දය ආරම්භ කිරීමට පවතින පැය 48කට අඩු කාලසීමාව තුළ පරාජය හමුවේ වියරුව හැසිරෙන පිරිස් ගෙන යන ප්‍රචාර පිළිබඳව අවදියෙන් ඉන්න. අතීතයේ දේශපාලන අත්දැකීම් සමඟ හොඳින් කල්පනා කර මේ දේශපාලන බල හුවමාරුව සාමකාමීව සිදු කරන්න එක් වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්

ඊයේ දිනයේ සජිත් ප්‍රේමදාස මහතා රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැත්වූ සජීවී සාකච්ඡාවෙන් මතු වූ කරුණු පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

සජිත් ප්‍රේමදාස සාමාන්‍යයෙන් සාකච්ඡා මඟහැර යන කෙනෙක්. ඡන්දයට පෙරදී පවා හැම රූපවාහිනී නාලිකාවකම පක්‍ෂ නායකයන් ඇතුළු දේශපාලන නියෝජිතයන් ගෙන්වාගෙන සම්මුඛ සාකච්ඡා පවත්වනවා. අපේ පක්‍ෂයේ නායක, අනුර කුමාර සහෝදරයා මෙම වැඩසටහන්වලට ඇති තරම් සහභාගී වී තිබෙනවා. මාධ්‍යවේදීන් නඟන ප්‍රශ්නවලට සෘජුව පිළිතුරු දී තිබෙනවා. කොළ කෑල්ලක්වත් අතේ නැතිව හොඳ මතක ශක්තියකින්, සංයමයකින් පිළිතුරු ලබා දීම පිළිබඳව විශේෂ අගැයීමක් සමාජයේ පවතිනවා. එවැනි අවස්ථාවකට සජිත් ප්‍රේමදාස සහභාගී වෙනවා අපි දැක්කේ නැහැ. සමහර මාධ්‍ය ආයතන ඔහුට ආරාධනා කර තිබුණත්, ඒවායින් මඟහැර සිටියා. ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනා අතර විවාදයක් පවත්වමු කියලා සූදානමක් තිබුණා. ජාතික ජන බලවේගය පැත්තෙන් එය සම්බන්ධීකරණය කළ මා දින ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දුන්නා. අප දින අටක් ඔහුට ලබා දී තිබුණා. එම දින අටම ප්‍රතික්‍ෂේප කළා. අවසානයේ දී ඔහු අපට දිනයක් ලබා දෙන ලෙස දැන්වූවා. ඒ ආවෙත් නැහැ. අපට ආරාධනා කළ නාලිකාවකට ගොස් සජිත් ප්‍රේමදාස නැතිව අපට ඒ සාකච්ඡාව තියන්න සිදු වුණා. සජීවී සාකච්ඡාවලට ඔහු බයයි. ගෝඨාභය රාජපක්‍ෂටත් ඔය වැනි තත්වයක් තිබුණා. සමාජ මාධ්‍යවල මෙන්ම රූපවාහිනී මාධ්‍යවල එවැනි සාකච්ඡා ගණනාවක් ඉදිරියේදීත් පැවැත්වෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *