Latestදේශීය

කලබලයට පෙරවදනක් – නලින්ද ජයතිස්ස

ජනතා විමුක්ති පෙරමුණේ වෙබ් පිටුවේ පැරණි ලේඛනයක් උපුටා දක්වමින් මේ දිනවල සංසරණය වන පුවතක් පිළිබ‍ඳව පැහැදිලි කිරීමක් කළ යුතු යැයි අපි සිතුවෙමු.

ජනතා විමුක්ති පෙරමුණ ලෝකය අත්පත් කරගන්නා නව දැනුම අනුව, දේශීය හා ගෝලීය දේශපාලන තත්වයන්ට අනුව පක්ෂය තුළ අවශ්‍ය වෙනස්වීම් සිදු කර ගැනීමට සමත් දේශපාලන පක්ෂයකි.

මේ සංසරණ වන කොටස 1979 වර්ෂයේ ජනතා විමුක්ති පෙරමුණේ සමුළුවේදී සම්මත කර ගන්නා ලද වැඩපිළිවෙ‍ෙළ් කොටසකි. එම වැඩපිළිවෙළ තුළ අන්තර් ගත වූයේ එවකට පැවති ලෝක දේශපාලන තත්වයට අනුව එම සමුළුව විසින් අනුමත කරන ලද සමාජවාදයට අදාළ මූලධාර්මික යෝජනාය. ඒ වන විට ලෝකය සමාජවාදී හා ධනවාදී ලෙස කඳවුරු දෙකකට බෙදී තිබිණි. අනෙක් අතට එහි දක්වා තිබූ කරුණු එවකට ලොව පුරා ඕනෑම වමේ ව්‍යාපාරයකට පොදු විය. මෙම කරුණු හා මූලධර්ම එක් එක් රටට ගලපා ගනිද්දී එම රටවල වෙනස්කම් හා එක් එක් කාලවල ඇතිවන වෙනස්කම්ද සැලකිල්ලට ලක් විය යුතු බවද මෙහි සඳහන්ව තිබේ.

ගෙවුණු දශක කිහිපය තුළ ලෝකය සමග රටද වෙනස් වූ අතර වෙනස් වන දේශීය හා ගෝලීය තත්වයන්ට අනුව ජනතා විමුක්ති පෙරමුණද වඩා දියුණු දේ අත්පත් කරගනිමින් වෙනස් වී තිබේ. 1994දී නැවතත් ප්‍රධාන දේශපාලන ධාරාවට ඇතුල් වූ ජවිපෙ 2000 මහ මැතිවරණය වෙනුවෙන් විද්වතුන්ගේ ඇගයීමට ලක්වූ ‘පස්අවුරුදු සැලැස්ම’ වැඩපිළිවෙළ එළිදැක්වීය. 2001 මහමැතිවරණයේදී ‘දේශය ගොඩනැගීමේ කෙටිකාලීන වැඩපිළිවෙළ’ නමින්ද 2015 මහමැතිවරණයේදී ‘හෘද සාක්ෂියේ සම්මුතිය’ නමින්ද ජාතික වැඩපිළිවෙළවල් ජවිපෙ විසින් කලින් කලට එළිදක්වන ලදී. ඒවා පරිශීලනය කරන ඕනෑම අයෙකුට ජවිපෙ යාවත්කාලීන දේශපාලන දැක්ම අවබෝධ කර ගත හැකිය.

කෙසේ වුවද ජවිපෙද ඇතුළත් NPPයේ ජයග්‍රාහී ගමන දැක ඇස් නිලංකාර වූ විරුද්ධවාදීන්ට මේ වෙනස්කම් පෙනෙන්නේ නැත. ඔවුනට දේශපාලනයේ ගැඹුරු කියවීම් කිසිවක් නැත. දේශපාලනයේ අතදරුවන් ලෙස හැසිරෙන ඔවුන් වසර 40කට ඔබ්බෙන් වූ පක්ෂයේ පැරණි ලියකියවිලි උඩින් පල්ලලෙන් අතපතගාමින් කරන කලබලය පිළිබඳව අපට ඇත්තේ කණගාටුවකි. අනෙක් අතට දේශපාලන අවබෝධයක් සහිත ජනතාවට ඔවුන්ගේ මේ කලබලකාරී හැසිරීම හාස්‍යජනකය. එමෙන්ම මේ කලබලයට පත් පිරිස අතර වත්මන් විපක්ෂ නායකයාද සිටීමෙන් හෑල්ලු වන්නේ ඔහුටත් වඩා ඔහු දරන විපක්ෂ නායක තනතුරය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?