Latestක්‍රීඩාදේශීය

චමරි සමුගත යුතු නැහැ – රොමේෂ් රත්නායක

කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිලට වැරදුණ තැන් බොහොමයක් තිබූ බවත්, ඒවා සකසා ගැනීමට දින කිහිපයක් තිස්සේ උත්සහ කළ ද ඒවා අසාර්ථක වූ බවත් කාන්තා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පැවසීය. සති කිහිපයකට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ප්‍රදර්ශනය කළ දක්ෂතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බිඳ වැටීම ප්‍රශ්නයක් බව ඒ මහතා පැවසීය. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු එසේ පැවසුවේ පෙරේදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ඉන්දියාවට එරෙහි තරගය ලකුණු 82කින් පරාජයවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය‍.

කණ්ඩායමකට දිය හැකි සියලු පහසුකම් ලබාදී, යහපත් පුහුණු අවස්ථා තුළින් ක්‍රීඩිකාවන් තුළ විශ්වාසය ගොඩනඟා තිබූ පසුබිමක ඉතාම දක්ෂ කණ්ඩයමකට සිදුවූ දේ පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පුහුණුකරු පෙන්වා දුන්නේය.

ඉන්දියාව සමඟ තරගය අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අතරට පිවිසීමට ඉතාම තීරණාත්මක වූ අතර, පිට පිට තරග තුනකින් පරාජය වූ ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයෙන් ඉවතට ගියේය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 3ක් දැවී ලකුණු 172ක් රැස් කළ අතර, ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 19.5ක් තුළදී ලකුණු 90කට සීමා විය. මුල් ඕවර තුනක් තුළදී විශ්මි, චමරි හා හර්ෂිතා එක පෝලිමට ක්‍රීඩාගාරයට යෑමෙන් දරුණු අර්බුදයකට පත්වූ ශ්‍රී ලංකා කාන්තා පිලට එයින් ගොඩඒමට කිසිදු ඉඩකඩක් නොවීය.

“අපිට වැරදුණ තැන් කිහිපයක් තිබුණා. සති කිහිපයකට පෙර අපේ හැකියාව කොතැන ද තිබුණේ. දැන් තියෙන්නේ කොතැන ද කියන එක ප්‍රශ්නයක්. අපේ හැකියාව අපට ඕන වේලාවේ මතු වුණේ නෑ. නමුත් අපිට තව මැච් එකක් තියෙනවා. ඒක හොඳින් කරන්නයි බලාපොරොත්තුව. පන්දු රැකීම ගොඩක් දුර්වල වුණා. නමුත් පසුගිය කාලේ අපේ අනෙක් හැකියාවන් අතින් අපි ජයග්‍රහණ වාර්තා කළා. උඩ පන්දු රැකීමට තාක්ෂණය වගේම විශ්වාසය වැදගත්. අඩුපාඩු හදාගෙන ඉදිරියට ගියත් මේ ලෝක කුසලාන ඉදිරිය දැන් අපිට අහිමියි” ශ්‍රී ලංකා පුහුණුකරු පැවසීය.

“කාසියේ වාසිය අපිට අහිමි වුණා. නමුත් ඒක බලාපොරොත්තුවෙන් ඉඳලා බෑ. ඕන දේකට මුහුණදෙන්න සූදානමින් පිටියට යා යුතුයි. ටීම් එකක් විදිහට හැකියාව පෙන්විය යුතුයි. අත්දැකීම් ලබා ගත්තාම එක දිගට දක්ෂතා දැක්විය යුතුයි. අපි සෑම අංශයකින්ම දුර්වල වුණා. මගේ පෞද්ගලික මතය චමරි තව වසර 4ක් පමණ ක්‍රීඩා කළ යුතුයි. එයා සමුගන්නවා ද කියන එක ගැන අදහසක් නෑ. නමුත් එක් ක්‍රීඩිකාවක් මත යැපිලා කණ්ඩායමක් ඉදිරියට යන්න බෑ. ඉදිරියේදී පසු පෙළක් හදාගත යුතුයි” රුමේෂ් රත්නායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රුමේෂ් රත්නායක මහතා පැවසුවේ විස්සයි20 ලෝක කුසලානයේ දී තම කණ්ඩායමේ දස්කම් පිළිගත නොහැකි මට්ටමක තිබීම කනගාටුවට කරුණක් බවය.

“ශ්‍රී ලංකාව එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ තරගාවලි ජයග්‍රහණය කළා. අබුඩාබිහි පැවති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග අපරාජිතව අවසන් කළා. ආසියානු කුසලාන ශූරයන් බවට පත්වීමේදී පාකිස්තානය සහ ඉන්දියාව පරාජය කළා. එහෙත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ඔස්ට්‍රේලියාව ඇතුළුව මේ සියලු දෙනා හමුවේ පරාජය වුණා. ඔවුන් දුප්පත් ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටිනවා. මට එය පිළිගත නොහැකියි” රත්නායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා පිල කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සහභාගිවන නවසීලන්තය සමඟ මූලික වටයේ අවසන් තරගය සාජා පිටියේදී ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (12) පස්වරු 3.30ට ආරම්භ වන අතර, එම තරගය ජය ගැනීම එකම අරමුණවී තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *