Latestදේශීය

වාසු කියපු දේ ඇහුවේ නෑ, මහින්ද අමාරුවේ වැටුනා – උදය ගම්මන්පිල

අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමැත්ත පළ කර සිටි මහින්ද රාජපක්ෂ මහතා ඔහු වටා සිටිමින් ඔහුගේ තනතුරින් වාසි ප්‍රයෝජන ගත් පිරිසකගේ උවමනාව මත එම ඉල්ලා අස්වීම සිදු නොකළ බවත් අවසානයේ ඉතාම නොගැලපෙන සහ අවනම්බු සහගත ලෙස ධූරයෙන් ඉවත්ව යෑමට ඒ මහතාට සිදු වූ බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සඳහන් කර සිටියේ (17) පාර්ලිමේන්තුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.

මැයි නමවන දා රාක්ෂයාගේ දිනය . මනුස්සකම් මරා දමමින් රාක්ෂයා ජයග්‍රහණය කළ දිනය. දහවලේ රාජ්‍ය ත්‍රස්තවාදය. අදුරත් එක්ක ආවා පුද්ගල ත්‍රස්තවාදය. රාජ්‍ය ත්‍රස්තවාදය වේවා, පුද්ගල ත්‍රස්තවාදය වේවා එහි පාට රතු පාට උනත් කොළ පාට වුණත් නිල් පාට වුනත් මොන පාට වුනත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදය මයි. ඒ ත්‍රස්තවාදය අප පිළිකුලෙන් බැහැර කළ යුතුයි. අනිවාර්යෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ ප්‍රහාර සහ ප්‍රති ප්‍රහාර නිසා ජීවිත අහිමි වුණු අප හිතවත් අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීතුමන් ඇතුළු සියලුම දෙනාගේ පවුල්වලට සංවේගය පළ කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.

අද අපට ඇහුණා සහෝදරයා මැති ඇමතිවරුන්ගේ කතා. ඔවුන්ගේ කතාවලින් කියවුනේ ජීවිත කාලයක් පුරාවට ඔවුන් ගොඩනගාගත් තමන්ගේ නිවස වාහනය අහිමි වුනු දුක්බර කතා. දේපල හානි සිදුවුණු සහෝදර මන්ත්‍රීතුමන්ලා ට වගේම පාර්ලිමේන්තුවෙන් බැහැරව පහරදීම් දේපළ හානි වීම් වලට ලක් වූ සියලුම දෙනාටත් සංවේගය පළ කරන්න මා මෙය අවස්ථාවක් කර ගන්නවා.

අරගලයට පහරදීම රාජ්‍ය ත්‍රස්තවාදයක් වන්නේ කොහොමද? මේ පහරදීමට පැමිණි සෙනග කැඳවන්නේ ආණ්ඩුවේ ම මන්ත්‍රීවරු. හරියට නාලාගිරි ඇතාට රා පොවලා මත් කළා වගේ මේ ජනතාව තමන්ගේ කතාවලින් කුපිත කරවන්නේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්. මේ සෙනග රැස් කරන්නේ රටේ අගමැතිතුමන්ගේ නිල නිවසට. ඒ වගේම අරගල භූමිය කරා සෙනග මෙහෙයවන්නෙ ආන්ඩුවේ මන්ත්‍රීවරු. මේක රාජ්‍ය ත්‍රස්තවාදය නෙවෙයි නම් වෙන මොකද්ද ?

ඒ වගේ ආරක්ෂක අංශවල වගකීමත් හරියට ඉටු වුණේ නෑ. ආණ්ඩු විරෝධීන් සිටින තැනකට ආණ්ඩුවට සහය දක්වන පිරිසක් එකතු වන විට ගැටුමක් ඇති වන බව හිතාගන්න වත් බැරි බබාලද මේ රටේ ආරක්ෂක අංශ භාරව ඉන්නේ. ගින්දර සහ පුළුන් එක් කළ විට ගිනි ගන්නවා කියලා අප ඉගෙන ගත්තෙ දෙකේ පන්තියේදී. ඒකවත් දන්නැති අය ද මේ රටේ ආරක්ෂාව භාරව ඉන්නේ. අපි දැක්කා පාර්ලිමේන්තුවට වරින්වර දහස් ගණනින් විරෝධතාකරුවන් එනවා. යකඩ වැටවල් දාල යකඩ වැටවල් වලට උල් හයි කරලා කඳුළු ගෑස් ගහලා ජල ප්‍රහාර එල්ල කරලා කොහොමහරි සෑම අවස්ථාවකම මේ පාර්ලිමේන්තුවට උද්ඝෝෂකයන් එන එක වලක්වා ගන්න පොලිසිය සමත්වුණා. ඒ සමත්කම ඒ හපන්කම මැයි නම වනදා ක්‍රියාත්මක නොවුනේ ඇයි?

ලෝකයේ සමහර රටවලින් අපවාද අසමින් හදිසි නීතිය පැනය වූයේ හමුදාව අවශ්‍ය වේලාවට යොදවලා ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න කියලයි. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා ඇහුවා වගේ හමුදාව වෙලාවට යොදවන්න බැරිනම් මේ දාගත්ත හදිසි නීතියෙන් ඇති ඵලය මොකද්ද ?

ගාලු මුවදොර ඉඳන් අරලියගහ මැදුරට කිලෝමීටරයකට වඩා දුරක් තියෙනවා. අරලියගහ මන්දිරයට පැමිණි ජනතාව ගාලු මුවදොර පැත්තට යන එක නවතාගන්නට අවස්ථාව හා කාලය හොඳටම තිබුණා. නමුත් නිසි වෙලාවට පොලිසිය ක්‍රියාත්මක වීමත් සිදු වුණේ නැහැ. පොලිසිය අකර්මණ්‍ය කලේ කවුද ? හමුදාව අකර්මණ්‍ය කලේ කවුද ? පොලිසිය හා හමුදාව අකර්මණ්‍ය කිරීම රාජ්‍ය ත්‍රස්තවාදයේ ම කොටසක් ද කියන එක අපට ප්‍රශ්න කරන්නට වෙනවා.

තමන්ට නිසි ලෙස රාජකාරිය ඉටු කරගැනීමට නොහැකි උනේ තමන්ට ඉහළින් හිටපු නිලධාරීන් දෙන්නෙක් ගේ බලපෑම නිසා යැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මානව හිමිකම් කොමිසමට කළ ප්‍රකාශයේ සටහන් වුණාය කියලා මාධ්‍ය වාර්තා කර තිබුණා. ‍ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ට ඉහළින් සිටින නිලධාරීන් දෙදෙනෙක් ඉන්නේ. පොලිස්පතිතුමා ඉන්නවා. මහජන ආරක්ෂාව සම්බන්ධ අමාත්‍යාංශ ලේකම්වරයා ඉන්නවා. ඊට උඩින් ඉන්නේ දේශපාලකයෝ දෙන්නෙක්. එහෙමනම් මේ නිලධාරීන් දෙදෙනා හිතාමතාම මේ ගැටුම ඇති කරගන්නට පරිසරය නිර්මාණය කිරීමේ කටයුත්තට දායක වෙලා රටම ගිනි ගොඩක් අළු ගොඩක් බවට පත් කිරීමේ යටි අරමුණකින් කුමන්ත්‍රණයක යෙදී සිටියා ද කියලා ආණ්ඩුව විසින් වහාම පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි.

සමහරුන්ට බලය ලැබුනහම බලයෙන් මත් වෙනවා. තමන්ට කළ නොහැකි දෙයක් නෑ වගේ දෙයක් ඇඟට දැනෙන්නට පටන් ගන්නවා. මේ බලය කවදාවත් අපට නැති වෙන්නේ නෑ වගේ දෙයක් ඇඟට දැනෙන්නට ගන්නවා. බලයෙන් මත් උනාම හැසිරෙන්නේ හරිම නරක විදියට. මේ බලයෙන් මත් වන දේශපාලන සංස්කෘතියට අප දැන්වත් තිත යන්නටම ඕනෑ. එහෙමත් තිත තියා ගන්නට අපට පුළුවන් වුනොත් විතරයි මේ මන්ත්‍රීතුමා ජීවිතය පූජා කිරීමට, අනිකුත් මැති ඇමතිවරු දේපල පූජා කිරීමට රටපුරා ජනතාවට ඇතිවූ පීඩාවට වටිනාකමක් එකතු කරන්නට අපට පුළුවන් වෙන්නේ.

තරාතිරම නොබලා මේ ගැටුම ඇති කිරීමට දායකත්වය දැක්වූ සියලුම දේශපාලකයන් අත්අඩංගුවට ගෙන නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන බවට අපි මුලින්ම ජනතාවට පෙන්විය යුතුයි. මේක කරහම තමයි ආණ්ඩුවට සුජාතභාවයක් ලැබෙන්නේ මැති ඇමතිවරුන්ගේ ගෙවල් ගිනි තියමින් පුද්ගල ත්‍රස්තවාදයෙ යෙදුණු අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න.

මට අපේ හිටපු ජනපති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සම්බන්ධයෙන් දැවැන්ත සංවේගයක් තිබෙනවා. එතුමා මේ රටට දැවැන්ත සේවයක් කරපු අපි යුග පුරුෂයෙක් විදිහට දැකපු නායකයෙක්. එතුමාට ගෞරවනීය නික්ම යාමක් ලැබිය යුතුව තිබුණා. මේ ගරු සභාව අවසාන වශයෙන් අමතපු දවසේ එතුමා සභාවේ සිටියදී මම මේ පැත්තේ ඉඳන් කිව්වා ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමාට ගෞරවනීය නික්ම යෑමකට හිමිකම් තිබෙන නායකයෙක්. ඒ නිසා ඔබතුමාට ගෞරවනීය ලෙස තනතුරට සමු දීමට දැන් කාළය උදාවී තිබෙනවා කියා. වාසුදේව නානායක්කාර අමාත්‍යතුමා මා සමග පැවසුවා එතුමා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට කතා කරලා දුරකථනයෙන්, එතුමා හමුවෙන්න ගියා. අගමැතිතුමන්ට රටේ තත්ත්වය පැහැදිලි කරලා දීලා ඔබතුමාට ගෞරවනීය නික්ම යෑමක් ලැබීමට නම් වූ වහාම ඉවත්වෙන්න කියලා යෝජනා කළා කියලා වාසුදේව නානායක්කාර මැතිතුමා පැවැසුවා. වසර පනස් පහක පමණ දීර්ඝ මිත්‍රත්වයක් තිබෙන දෙන්නෙක් තමයි මහින්ද සහ වාසු කියන්නේ. එතුමා එකග වෙලා “ හරි වාසු ඔයා කියන දේ මට පැහැදිලියි ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා ඉල්ලා අස් වෙනවා” යැයි කියනවා.

නමුත් එතුමාගේ තනතුරේ වාසි ප්‍රයෝජන ලබන පිරිසක්, හරියට මළකුණක් වටකරගෙන සිටින කපුටු රෑනක් වගේ පිරිසක් එතුමා ඉවත්වෙන්න හදපු සෑම අවස්ථාවකම එතුමාගේ ඉවත්වීම අතර කරලා එතුමාට ඉතාම නොගැලපෙන අවනම්බුවක් සහිත නික්ම යෑමක් ලබා දුන්නා.

අපි දන්නවා කතාවක් මෝඩ වඳුරෙක් තමන්ගේ හොඳම යාළුවා විදියට තබා ගත්ත රජකෙනෙක් නින්දට වැටුනා. රජතුමා ගේ ඇඟේ මැස්සෙක් වැහුවම රජතුමාගේ නින්දට බාධා වෙනවා. රජතුමා අතින් ගසමින් මැස්සා එලවා ගන්නට උත්සාහ කරනවා. එතුමාගේ නින්දට මැස්සාගෙන් බාධා වන බව දැක්කම අර වඳුරා පැත්තකින් තියල තිබුන රජතුමාගේ මඟුල් කඩුව අරගෙන මැස්සාට කෙටුවා. මැස්සා බේරුණා. රජතුමා මැරුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මෝඩ වඳුරන් පිරිසක් ළඟින් තියාගෙන හිටියේ. ඒ නිසා අර රජ්ජුරුවන්ට ජීවිතය නැති වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට නම්බුව නැති වුණා. ඒ නිසා මේ සිදුවීම මෝඩ මිතුරන්ගෙන් ප්‍රවේසම් වීමට රාජ්‍ය නායකයන්ට හොඳ පාඩමක් කියලා මම විශ්වාස කරනවා.

මැයි නමවනදා මුලින්ම ඇතිවුණා පහරදීම පිළිබද කෝපයක්. දවල් වෙනකොට අපි දැක්කෙ ඒක. හවස වෙනකොට තිබුණේ ඒක නෙවෙයි. දේශපාලන පලිගැනීම්. තමන්ගේ දේශපාලන ප්‍රතිමල්ලවයා හොයාගෙන ගිහිල්ලා පහර දීමේ දේශපාලන පළිගැනීම. තව ටිකක් යනකොට මේක මහා මංකොල්ලයක් බවට පත්වෙනවා. මම කතා කරපු අපේ මැති ඇමැතිවරු විශාල ගණනක් කියපු දෙයක් තමයි ගිනි තියපු දේට වඩා හොරකම් කරගෙන අරගෙන ගිය දේ වැඩියි කියලා.

මැයි නම වනදා වන විට මේ රටේ මොකක්ද දැක්කෙ. සාමය සහජීවනය ගැන දේශනා කරමින් සිටිය පූජකතුමන්ලා සමාජ මාධ්‍ය වලට ඇවිල්ල වෛරය වපුරන්නට ගත්තා. නීතියේ ආධිපත්‍ය යුක්තිය ගැන කතා කරපු කලාකරුවෝ නීති අතට ගන්නට ජනතාවට බල කළා. දැන් ඒ අයගේ ෆේස්බුක් වලට ගිහිල්ලා බලද්දි නම් ඒ දාපුවා දැන් මකළා. හැබැයි අපි ඒවා එකතු කරගෙන තියාගෙන ඉන්නේ. මේ රටේ පූජකවරුන් කලාකරුවන් මේ රටේ ජනතාව කුපිත කරලා දැන් කියනවා සාමකාමී වෙන්න සාමකාමී වෙන්නේ කියලා. එහෙම නම් ජනතාව කුපිත කිරීමට කටයුතු කළ දේශපාලකයන් හොයාගෙන ගිහිල්ලා නීතිය අතට ගෙන කටයුතු කිරීමට පෙළඹ වූ සියලුම දෙනාටත් වහාම අප නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වැරදි කිරීමට අනුබල දීමත් අපේ දණ්ඩ නීති සංග්‍රහය අනුව වරදක්.

මැයි නම වන සඳුදා කළු සඳුදාවක්. නැවත මේ මිහිපිට උදා නොවිය යුතු දවසක්. ඒ දවස උදා නොවන බවට වග බලා ගත හැක්කේ එයට විවිධ ආකාරයෙන් දායක වුණු දෙපාර්ශ්වයේම සිටිනා ත්‍රස්තයන් නීතිය ඉදිරියට පැමිණ වීමෙන් පමණයි.

– Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?