Latestදේශීය

උතුරට අක්කර 1000 ක සෆාරි අභයභූමියක්

උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත සෆාරි අභයභූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබදව සොයා බලන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ.

දැනට උතුරු පළාතේ පාසැල් දරුවන්ට හා වැඩිහිටියන්ට සතුන් පිළිබඳව අධ්‍යයනය කිරීමට මෙන්ම විනෝදාස්වාදය උදෙසා වෙනමම සෆාරි අභයභූමියක් ස්ථාපිත කර නොමැත. බොහෝ අභයභූමි මෙන්ම සත්වෝද්‍යාන ද පිහිටා තිබෙන්නේ දකුණේ නිසා උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05ක ජනතාවට දකුණේ සත්ව උද්‍යාන නැරඹීම සඳහා පැමිණීමට සිදුව තිබේ.

මේ නිසා උතුරු පළාතේ ස්ථාපිත කිරීමට යෝජිත නව සෆාරි අභයභූමිය සඳහා සුදුසු ඉඩම් පිළිබඳව සොයා බලන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට මෙන්ම වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා වනසම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නේය.

දැනට ජාතික සත්වෝද්‍යාන තුළ වැඩිපුර සිටින ඇතැම් සත්ව විශේෂ මෙන්ම නාගරික ප්‍රදේශවල දැනට ව්‍යාප්තව සිටින, ජනතාවගේ ගෙවතුවලට හානිකරන සත්ව විශේෂ මෙම වනෝද්‍යානයට යොමු කිරීමට ඇති හැකියාව ද සොයා බලන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

අවශ්‍ය නම් එසේ හඳුනාගන්නා ලද ඉඩම්වල පළමුව වන වගාව සිදු කර ඉන් අනතුරුව එහි වන සතුන් යෙදීමට පියවර ගත හැකි බව නිලධාරිහු පෙන්වා දුන්හ. මෙහිදී හෝමාගම ප්‍රදේශය අවට ව්‍යාප්තව සිටින මුව රංචු සම්බන්ධයෙන් ද අවධානය යොමු වු අතර, එම සතුන් විදිමත් සෞඛ්‍ය පරීක්ෂණයකින් අනතුරුව උතුරු පළාතේ පිහිටුවීමට යෝජිත සෆාරි අභයභූමියට යොමු කිරීම කෙරෙහි ද සාකච්ඡා කරනු ලැබීය.

මේ අතර යාල ජාතික වනෝද්‍යානයට තාවකාලිකව පුද්ගලික වාහන ඇතුල් කිරීමට පියවර නොගන්නා ලෙස ජනාධිපතිතුමන් විසින් දී ඇති උපදෙස් තරයේ ක්‍රියාත්මක කරන්නැයි ද කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
යාල ජාතික වනෝද්‍යානයට යන දෙස් විදෙස් සංචාරකයින්ට එහි ඇති සෆාරි රථ කුලී පදනම මත යොදා ගැනීමට හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?