Latestදේශීය

සැබෑ සංවර්ධනය පිළිබිඹු වන්නේ දරුවන්ගේ සිනහව තුළයි – සාවිත්‍රි පෝල්රාජ්

රටක සැබෑ සංවර්ධනය පිළිබිඹු වන්නේ එරට වෙසෙන දරුවන්ගේ සිනහව තුළිනි. එසේම, දරුවෙකුගේ මුවඟ නැගෙන සෑම සිනහවක් පිටුපසම සිහිනයක්, බලාපොරොත්තුවක් මෙන්ම යහපත් හෙට දවසක් පිළිබඳ අපේක්ෂාවක්ද ගැබ්ව තිබේ.

වැඩිහිටියන් ලෙස අප දරුවන් තුළින් දැකිය යුත්තේ ඔවුන් විසින් ගොඩනගා ගන්නා “ඔවුන්වම” මිස, අපට හිමි කරගත නොහැකි වූ “අප” නොවන බව අප මතකයේ රඳවා ගත යුතුම කරුණකි.

“මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනය සැමරීමේ ප්‍රධාන අරමුණ වන්නේ තරගකාරීත්වය හේතුවෙන් දරුවන්ට අහිමිව යන මානසික නිදහස, ආචාරධර්මීය සංවර්ධනය සහ ප්‍රමුඛ වටිනාකමක් වන ළමාවිය නැවත ඔවුන්ට හිමිකර දීමේ සමාජ වගකීම අප සැමට සිහිපත් කිරීමයි.

රජයක් ලෙසත්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ලෙසත්, “සුරක්ෂිත ළමා ලෝකයක් – නිර්මාණශීලී අනාගත පරපුරක්” යන දැක්ම මත පිහිටමින්, කුමන ජාතිකත්වයක් නියෝජනය කළද, කවර ආගමික හෝ ආර්ථික පසුබිමකට අයත් වුවද, සමාජයේ කුමන මට්ටමක සිටියද, සියලු දරුවන් රටේ දරුවන් ලෙස සලකමින් ඔවුන්ගේ අයිතිවාසිකම් හා සුබසාධනය තහවුරු කිරීම වෙනුවෙන් අප කටයුතු කරමින් සිටින්නෙමු.

ආදරණීය දරුවනේ, ඔබ ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්, ඔබගේ අයිතිවාසිකම් තහවුරු කිරීමටත්, වෙනස් වෙමින් පවතින ලෝකයට විශ්වාසයෙන් පිවිසීමට අවශ්‍ය දැනුම, පහසුකම් සහ අවස්ථා ලබාදීමටත් අපි කැපවී සිටින්නෙමු.

ශක්තිමත් ශ්‍රී ලංකාවක අනාගත පරපුර බව හදවතේ රඳවා ගනිමින්, අභිමානයෙන් ලොව ජයගැනීමට ඔබ සැමට ආරාධනා කරමින්, ලෝක ළමා දිනය වෙනුවෙන් උණුසුම් සුබපැතුම් එක්කරමි.

සුබ ලෝක ළමා දිනයක් වේවා!


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *