Latestදේශීය

බරපතල පනත් 2ක් ආන්ඩුව හෑල්ලුවෙන් ගෙනල්ලා – සුනිල් හඳුන්නෙත්ති

රටේ ආර්තිකය සම්බන්දයෙන් බරපතළ පනත් 2ක් ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන්නේ පරිවර්තන දෝෂ සහ පරස්පරතා සහිත නොසැලකිලිමත් ඉතාමත් හෑල්ලු ආකාරයකින් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය චෝදනා කරයි.

එම කවුන්සිලයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු සහිතව එම චෝදනාව නැගීය. මාධ්‍ය හමුවේ අනාවරණය කළ එම කරුණු පහත දැක්වේ.

ආර්ථික පරිවර්තනය කිරීමේ ජාතික ප්‍රතිපත්තිය සඳහා බව කියන පනතක් සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමේ පනතක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ පනත් මගින් ආයෝජන මණ්ඩලය අහෝසි කිරීමටත් යෝජනා කර තිබෙනවා. ලංකාව තුළ ඉන්න කෙනෙකු හෝ විදේශ ගත ලාංකිකයින් හෝ ආයෝජන මණ්ඩලය අහෝසි කරන්නැයි උද්ඝෝෂණය කළේ නැහැ. ආර්ථික පර්වර්තන පනත හදිසියේ රැස්කළ පාර්ලිමේන්තුවට ගේනවා. නමුත් කවුරුත් ඉල්ලුවේ නැහැ. මේ පනත සම්බන්ධයෙන් කිසියම් පාර්ශ්වයකට අධිකරණයට යා යුතු නම් ඒ වෙනුවෙන් තිබෙන්නේ සීමිත අවකාශයක්. වෙසක් පොහොය ඇතුළු රජයේ නිවාඩු කාලයක් වගේම ජනතාවගේ අවධානය වෙනතක තිබියදී රනිල් වික්‍රමසිංහලාට අවුරුදු 75ක් තිස්සේ කරන්න බැරි වූ දෙයක් හදිසියේ මතක් වුණා වගේ මේ පනත ගේනවා. මේ අයට පනත් ගේන්න තිබුණු හදිසිය කොතරම්ද කියනවා නම්, ඉංග්‍රීසි පිටපත සිංහලට පරිවර්තනය කර ගන්න නිසි ලෙස හැකිවී නැහැ. ඒ සම්බන්ධයෙන් උදාහරණ ගණනාවක්ම මේ පනත් කෙටුම්පතේ තිබෙනවා. රටේ ආර්ථිකය පිළිබඳ බරපතළ පනතක් ඉදිරිපත් කර තිබෙන්නේ ඉතාමත්ම හෑල්ලුවකින්.

සමාගම් පනත යටතේ පිහිටුවන පුද්ගලික සමාගමකට ජාත්‍යන්තර මට්ටමේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ බලය ලබාදෙන්න යනවා. මෙයින් හැම දෙයක්ම කිරීමේ හැකියාව කැබිනට් මණ්ඩලයට සහ ඇමතිවරයාට තිබියදී ජනාධිපතිවරණය කැඳවීමේ පසුබිමක මෙතරම් බරපතළ තත්වයක් ඇති කිරීම අතිශයින්ම සැක සහිතයි. කෙටුම්පතේ 3 සහ 4 වගන්තිවල ජාතික නිෂ්පාදිතය, ණය සේවාකරණ ගෙවීම් ආදිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගත් ගිවිසුමේ කොන්දේසි ඇතුළත් කර තිබෙනවා. ප්‍රතිපත්ති පනතක් ලෙස ගෙනත් ඒ වගන්ති කඩ කළහොත් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද? ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් මේ පනතේ නැහැ. මේ පනතේ පැහැදිලිවම තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු වෙනුවෙන් ඒ මූල්‍ය අරමුදල කැපවෙනවාටත් වඩා රනිල් වික්‍රමසිංහගේ ඇති කැපවීමයි. රනිල් වික්‍රමසිංහ වගේම රාජපක්ෂලාගේ මන්ත්‍රී කණ්ඩායමත් ඒ වෙනුවෙන් ඇති කැපවීම පැහැදිලි වෙනවා. මේ පනත් මගින් පෞද්ගලික අංශයේ කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් ඇතුළු දේශීය ව්‍යවසායකයා බරපතළ අර්බුදයකට ලක්වෙනවා. මේ පනත සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසගේ අලි බාගයේ පක්ෂය දරන ස්ථාවරය මේ දක්වා පැහැදිලි කර නැහැ. ඔවුන්ගේ බ්ලූ ප්‍රින්ට් යෝජනා මාලාව අනුව ගත්තත් රනිල් වික්‍රමසිංහගේ මේ වැඩපිළිවෙළට විරුද්ධ වීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. රටේ නීතියටත් වඩා උඩින් ක්‍රියාත්මක වන මණ්ඩලයක් සමාගම් පනත යටතේ ලියාපදිංචි කිරීම අතිශයින් බරපතළයි. ඒ සම්බන්ධයෙන් අලි බාගයේ පක්ෂයේ සජිත් මහත්තයාගේ ස්ථාවරයත් හෙළි කළ යුතුයි.

මෙවැනි පනතක ඉල්ලීමක් වාණිජ මණ්ඩලය හෝ කර්මාන්තකරුවන්ගේ සංගම් හෝ පෞද්ගලික අංශයේ කිසිවෙකුගෙන් නැතිව තිබියදී, ගෙන ඒමේ අභිලාශය කුමක්දැයි ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතුයි. අපි මේ පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මෙයින් පීඩාවට පත්වෙන සියලුම කොටස් සමග එක්ව අපි මීට එරෙහිව ක්‍රියාකරනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පවරන්නත් අපි ලැහැස්තියි. වෘත්තිය සමිති එක්ක සාකච්ඡා කර, මෙයට එරෙහිව කළ හැකි උපරිම මැදිහත්වීම් අපි කරනවා. පුරවැසියන් හැටියටත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගෙනුත් මාධ්‍යවේදීන්ගෙනුත් අපි ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් දැනුවත් වී උපරිම සංවාදයක් ඇති කරන ලෙසයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු:

ප්‍රශ්නය: සමගි ජන බලවේගය සමග විවාදය පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට තත්වය කුමක්ද?

පිළිතුර: ඒ විවාදය අනිවාර්යයෙන්ම පවත්වන්න ඕනෑ. ඔවුන් එකට ඉඳිමින් එළියේ බෙදී සිටිමින් ගෙන යන ක්‍රියාමාර්ග රට හමුවේ හෙළිදරව් කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් අපි සජිත් ප්‍රේමදාස ලබාදුන් දින අනුව ලබන හයවැනි දින විවාදයට සූදානම් බව අපි ප්‍රකාශ කළා. ඒ අනුව අපේ අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස අතර විවාදය පැවැත්වීමට ඔවුන් කටයුතු කරයි කියා විශ්වාස කරනවා. අපි ඉතා පැහැදිලිව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා හෙළි කළේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත නිසා එහිදී ඉතාමත් වැදගත් වන්නේ එම අපේක්ෂකයන් අතර සිදුවන විවාදයයි. මාලිමාවේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක නම් කර ඇති නිසාත්, අලි බාගයේ පක්ෂයේ අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කර ඇති නිසාත් ඒ විවාදය ගැනීමේ කිසිදු බාධාවක් නැහැ. මේ බව ඔවුන්ගේ පක්ෂයේ සමහර අයට තේරෙන්නේ නැතිව විවිධ කතා කියනවා දැයි අපට ගැටලුවක්. ආර්ථික කමිටු අතර විවාදය පැවැත්වීමටත් අපිට ප්‍රශ්නයක් නැහැ. ආර්ථික කමිටුවේ මම, හර්ෂද සිල්වා, එරාන් වික්‍රමරත්න, කබිර් හෂීම් එක්ක රූපවාහිනි සංවාදවලදී ඕන තරම් සංවාද කර තිබෙනවා. ඔවුන් අද කියන දේ නොවෙයි හෙට කියන්නේ. මේ ඊයේ පෙරේදාත් මාධ්‍ය හමුවලදී හර්ෂ ද සිල්වා කලින් කියූ දේ වෙනස් කර කර කියනවා. ඔවුන් සඳහන් කරන බ්ලූ ප්‍රින්ට් එකටත් දැන් අයිතිකාරයෙක් නැහැ.

අනෙක් පැත්තෙන් මාලිමාවේ අපි කියන කරුණු ඔවුන් ඊට පස්සේ ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. උදාහරණයක් හැටියට මාර්තු 25වැනිදා අපි පැහැදිලිව ප්‍රකාශ කළා, විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී ලසාඩ් ආයතනය මැදිහත් කර ගත්තත් රජය මූලික මැදිහත්වීම කළ යුතුයි කියලා. ඒ අවස්ථාවේ ඔවුන් අපට කීවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අපි නොදන්නා බවයි. එහෙම කියූ හර්ෂ ද සිල්වලා අපි කියූ දෙයම මැයි 15දා ප්‍රකාශ කර තිබුණා. තවත් උදාහරණයක් තමයි මේ මාධ්‍ය හමුවේදිත් අපේ මහාචාර්ය අනිල් ජයන්ත සඳහන් කළ ආකාරයට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී අපේ ඊ.පී.එෆ්. පොලිය වැඩියෙන් කපලා විදේශීය ණය හිමියන්ගේ පොලිය තිබෙනවාටත් වඩා වැඩි කර දෙන්න සූදානමින් සිටින බව. මේ සම්බන්ධයෙන් ඒ ණය හිමියන් සමග කේවල් කළ යුතු බව, මුලසිටම අපි පැහැදිලිවම කීවා. එදා ඔවුන් කීවේ ඒ ආකාරයෙන් කපා හැරීමක් කළ නොහැකි බවයි. නමුත් දැන් ඔවුන් කියන්නේ ණය හිමියන් සමග සාකච්ඡා කරමින්, වාසි අත්කර ගත යුතු බවයි. ඔවුන් උත්සාහ කරන්නේ මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තියම ඔවුනුත් ක්‍රියාත්මක කිරීමට සැරසෙන බව සමාජයට කියන්නයි. මාලිමාවේ ප්‍රතිපත්තිය ඒගොල්ලෝ කරේ තියාගෙන ජනතාව ඉදිරියේ පෙනී සිටිනවා.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?