Latestදේශීය

රට පුරා පාරවල් හදන්න බිලියන 520ක් – බිමල් රත්නායක

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් රට පුරා විනාශ වූ මාර්ග සියල්ල යළි තිබුණාට වඩා හොඳ තත්ත්වයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් බිලියන 120ක් වෙන්කර ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

2026 අය-වැය යෝජනා මඟින් ද මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට තවත් රුපියල් බිලියන 400ක් වෙන්කර ඇති බැවින් රුපියල් බිලියන 520ක් මාර්ග සංවර්ධනය සඳහා පමණක් වෙන් කර තිබෙන බව ද අමාත්‍යවරයා කීය.

කෑගල්ල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ දේවාලේගම ඇදුරාපොත ස්ථාල හංදිය නාය යෑමට ලක්ව තිබුණු මාර්ගය ඇතුළු ස්ථාන කිහිපයක් පෙරේදා අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. මාධ්‍ය‍ෙව්දීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.

එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙසේ ද පැවසීය.

“දැනට කෑගල්ල පොල්ගහවෙල ප්‍රධාන මාර්ගය තාවකාලික ලෙස රථවාහන ධාවනයට විවෘත කර තියෙනවා. ඒ වගේම නාය ගිය ප්‍රදේශයේ ඉඩම්වල ඉරි තැළීම් දක්නට ලැබෙනවා. මේ මාර්ගය හම්බන්තොට යාපනය දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයක් හැටියට දැනට භාවිත කරනවා.

නමුත් ඉදිරියේදී ජනතා මුදල් විශාල ප්‍රමාණයක් වැය කරලා මේ පාර සංවර්ධන කටයුතු සිදු කරලා බැරි වෙලාවත් යළි නාය යෑමකට ලක් වුණොත් ජනතා මුදල් අපතේ යෑමක් සිදු වෙනවා. ඒ නිසා දැනට මාර්ගය රථවාහන සඳහා විවෘත කර තිබෙන නිසා මම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා පළමුව ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයෙන් නිවැරැදි වාර්තාවක් අරන් ඊට පස්සේ මාර්ගය සංවර්ධනය කරන්න කටයුතු කරන්න කියලා.

වාර්තාව හොඳ නම්, ජනවාරි මාසේ සිට කෑගල්ල පොල්ගහවෙල මාර්ගය සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දැනටමත් ජනතාව මාර්ගය පුළුල් කිරීම සඳහා ඉඩම් පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ජනතාවගේ ඉඩම් මාර්ගය සංවර්ධනය කිරීමට හැකි ඉක්මනින්ම ලබාදී නිරවුල් කරගැනීමෙන් පසුව ඉදිරි සංවර්ධන කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.“

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කංචන වැලිපිටිය, ආචාර්ය නන්දන මිල්ලගල මාර්ග සංවර්ධන අධිකාරියේ සබරගමුව පළාත් අධ්‍යක්ෂ ජේ.වී. රණසිංහ මාර්ග සංවර්ධන අධිකාරියේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු අයි.අයි.අයි. ඉනන් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හෙරත් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *