Latestදේශීයනවතම ලිපිමතවාදවිදේශීය

සම්බාධක බිඳගෙන “ගාසා“ වෙත අවධානම් ගමනක් යන සමීරා මහබූබ්දීන්

(මෙලනි ගුණතිලක)

වසර තුනකට වඩා වැඩි කාලයක් පුරා ඊශ්‍රායලයත් ඇමරිකාවත් පනවා තියෙන සම්බාධක බිඳගෙන නැවත වරක් යාත්‍රා කෙරෙන ග්ලෝබල් සුමුද් ෆෝටිලා යාත්‍රාවන්ට ශ්‍රීලංකාව නියෝජනය කරමින් නැවතත් කාන්තාවන් දෙදෙනෙක් සහභාගී වෙනවා. ඒ අතරින් සමීරා මහබූබ්දීන් සහෝදරිය ඉදිරි දින කීපය ඇතුලත ශ්‍රී ලංකාවෙන් පිටත් වෙන්න නියමිතයි.

සමීරා වෛද්‍ය වෘත්තිකයෙක්, මවක් සහ බිරිඳක්. ඇය මේ පිටත් වෙන්නේ ඉතාම අනතුරුදායක ගමනක්. ඇය ඒ අනතුර අරගන්නේ මනා අවබෝධයෙන්, සමස්ත මනුෂ්‍ය ජාතිය වෙනුවෙන්. ගාසාවේ දුක් විඳින දරුවන්ගේ ජීවිත වලට තමන්ගේ දරුවන් වගේම ආදරය කරමින්. ඊශ්‍රායලය විසින් පලස්තීන ජාතිකයන්ට කෙරෙන අකටයුතුකම් වලට ඉඩ දෙන ලෝකයක කිසිම දරුවෙක් ආරක්ෂිත නොවන බව වටහාගෙන.

ලෝක බලවතුන් බල රහිත පිරිස් වල ජීවිත එක්ක සූදු කෙළින ලෝකයක මනුෂ්‍යත්වය රැකෙන්නේ නෑ. ඒ සූදු කෙළි බලාගෙන ඊට විරුද්ධ නොවීම කියන්නෙම ඒ අයුක්ති සහගත ක්‍රියා සාමාන්‍යකරණය වෙන්න ඉඩ දෙන එක. සමීරා නියෝජනය කරන්නෙ මේ ඊශ්‍රායලය ඇමරිකානු අධිරාජ්‍යවාදයට එරෙහිව නැගෙන මහජන විරෝධය වගේම මනුෂ්‍යත්වය මුල් කරගත්ත අලුත් ලෝකයක් වෙනුවෙන් නැගෙන කාන්තා හඬ.

ඊශ්‍රායල රජය ගාසාවේ පුංචි දරුවෝ මරණයට පත් කරද්දී, කාන්තාවන් බිළින්ඳන් පවා වධහිංසනයට ලක් කරද්දි “ඕවා අපේ ප්‍රශ්න නෙවෙයි“ කියලා අහක බලාගත්ත අය අතර, ගාසාව වෙනුවෙන් හඬ නගපු අයට “අහවල් තීරේ“ ගැන කතා කරනවා, සල්ලි වලට ලියනවා කියලා අපහාස කරපු අයට සමීරාගෙන් මනුෂ්‍යත්වයේ අගය ඉගෙන ගන්න පුළුවන්.

ඩිජිටල් අවකාශයේ කාන්තාවන්ට පහර එල්ල කරන ගමන් අරාබි රටවල කාන්තාවන්ගේ හිජාබ් ගලවලා ඔවුන්ව බලෙන් නිදහස් කරන්න අකුරු අමුණන දුර්වලයන්ට වඩා මනුෂ්‍යත්වය පෙරදැරි කරගත්ත කාන්තාවකගේ, මවකගේ කැපවීම කොයිතරම් ශක්තිමත්ද බව පෙන්වන ගෝලීය උදාහරණ වලට නැවත වතාවක් ශ්‍රී ලාංකික කාන්තාවන් දෙන්නෙක් එකතු වීමම සියුමැළි පිරිමි කාන්තා විමුක්තියට දෙන ජාතිවාදී, අධිකාරිවාදී අර්ථකථන සුණු විසුනු කරලා දානවා.

සමීරා මගේ යෙහෙළියක් බව, සහෝදරියක් බව කියන්නේ අසීමිත ආදරයකින් සහ ආඩම්බරයකින්. අධිරාජ්‍යවාදයට, යටත් විජිතකරණයට, මහළු පිරිමින්ගේ බල වියරුවට එරෙහි සටනේ ඇගේ කාර්යභාරය සාර්ථක කරගන්න සමීරාට තව තවත් ශක්තිය ධෛයිර්යය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා.

නිදහස් පලස්තීනයට ජය!

මනුෂ්‍යත්වයට ජය!


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *