ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් අතට පත්වීම පිළිබදව ආන්ඩුවට ප්‍රශ්ණ 5ක් – පුබුදු ජයගොඩ
විදෙස් ණයක් සඳහා වාරිකයක් ලෙස ඩොලර් මිලියන 2.5ක් ගෙවීමේදී හැකර්වරුන්ගේ පරිඝනක අපරාධයක් හරහා එම මුදල අහිමිවීම සම්බන්ධයෙන් විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙසේ අදහස් දැක්වීය.
මේ සිදුවීමේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා.
එක, විදේශීය ණය වල නැවත ගෙවීමේ වගකීම තිබුණේ මහ බැංකුවට. එම වගකීම මුදල් අමාත්‍යංශයට පැවරීමේ තීරණය ගත්තේ ඇයි, ඒ සඳහා හේතුව කුමක්ද?
දෙක, මහ බැංකුව ඔය වගකීමවත් කරන්නේ නැතිනම් කරමින් සිටින්නේ මොකක්ද? අනෙකුත් රජයේ සේවකයන්ට නැති අධික වැටුප් වැඩිවීමක් මහ බැංකු නිලධාරීන්ට පමණක් ලබා ගනිද්දී මහ බැංකු අධිපතිවරයා කිව්වේ විශේෂඥ හැකියාවන් සහිත, භාරදූර කාර්යයන් කරන නිලධාරීන් මහ බැංකුවේ ඉන්නේ, වැටුප් මදි වෙලා ඒ අය විදෙස්ගත වුනොත් රටේ ආර්ථිකය කඩා වැටෙයි කියලා. මහ බැංකු අධිපති දැන් මොකද කියන්නේ? ඒ විශේෂඥයෝ තමයි බාල ගනයේ හැකර් සෙල්ලමකට අහුවෙලා තියෙන්නේ.
තුන, හැකර් අපරාධ ඉදිරියේ දත්ත වල ආරක්ෂාව පොදුවේ අර්බුදයක තියෙන්නේ. මුළු ලංකාවේම ජනතාවගේ ජෛවමිතික දත්ත එකතුකරලා දත්ත ගබඩාවක් හදන විද්‍යුත් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ඉදිරිපත් වෙද්දී ඒවා හැකරුන්ට ගොදුරු වීමේ අවදානම ගැන අපි කිව්වා. එවිට ජනාධිපතිතුමා පෞද්ගලික රූපවාහිනී නාලිකාවකට ඇවිත් කිව්වා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ, ලංකාවේ නෙවෙයි ලෝක මට්ටමේ උගත්තු තමයි මේකට මැදිහත් වෙන්නේ, හැක් කරන්න බෑ කියලා. හාන්ස් විජේසූරිය කියලා එහෙම උගතෙකුගේ නමත් එතුමා කිව්වා. අන්තිමට ඒ උගත්තු ඔක්කොම මැදිහත්වූ මහා භාණ්ඩාගාරය පවා හැකර් ප්‍රහාරයට ලක්වෙලා, අපට මතක් වෙන්නේ වෙහෙර ගිල්ල යකාට අග්ගලාව කජ්ජක්ද කියන කියමන. භාණ්ඩාගාරය හැක් කළ පරිඝනක අපරාධකරුවන්ට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මොකක්ද? මේ සිදුවීමෙන් හෝ පාඩමක් ඉගෙනගෙන ජනතාවගේ දත්ත ආරක්ෂාව සලකා මේ ව්‍යාපෘති නැවත සමාලෝචනය කළ යුතුයි.
හතර, මේ ප්‍රශ්නය වෙලා තියෙන්නේ දෙසැම්බර් මාසයේ. මාස හතරක් යනතුරු මේ ගැන පාර්ලිමේන්තුවට වාර්තා නොකළේ ඇයි? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූල්‍ය බලය හිමියි කියලා තියෙන්නේ මුදල් ඇමතිට නෙවෙයි, පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවත් සමග කතා කරලා පරීක්ෂණ දියත් කරන්න තිබුණේ. මේ කරුණු සැඟවීම සැක සහිතයි.
පහ, මේ ගැන විධිමත් සහ අපක්ෂපාතී විමර්ශනයක් ඕන. දැන් කරන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. ප්‍රශ්නය වුණේ මුදල් අමාත්‍යංශයේ. පරීක්ෂණය කරන්නෙත් මුදල් අමාත්‍යාංශයමයි. ඒ වෙනුවට වගකිවයුතු රාජ්‍ය ආයතන හරහා වෝහාරික පරීක්ෂණයක් සිදු කළ යුතුයි. එහි අනාවරණයන් පිළිබඳව සමාජය දැනුම්වත් කළ යුතුයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

