Latestදේශීය

“ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්ම තුළින් මෙරට රිය අනතුරු අවම කරන්න කටයුතු කරනවා” – බිමල් රත්නායක

ප්‍රවාහනයේ ආරක්‍ෂාව තහවුරු කිරීමට රජය ‘ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට’ අනුකූල සියලු ක්‍රියාමාර්ග ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

පොදු ප්‍රවාහනයේ ආරක්‍ෂාවට තිරසර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත්, රිය අනතුරු හේතුවෙන් වසරකට අහිමිවන 2,700 කට අධික මානව සම්පත ආරක්‍ෂා කර ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , ඊයේ (25)  ‘අහඹු මත්ද්‍රව්‍ය පරීක්‍ෂාව පිළිබඳ මූලධර්ම සහ භාවිතය’ තේමාව යටතේ ආයතන මට්ටමින්  නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා සංවිධානය කරන ලද එක් දින විශේෂ වැඩමුළුවට එක්වෙමිනි.

ජෛව සාම්පල්වල මත්ද්‍රව්‍ය පරීක්‍ෂාවේදී විද්‍යාත්මක කරුණු පිළිබඳ අවබෝධය සහ දැනුම ලබාදීම මෙහි අරමුණ විය.

මෙම අවස්ථාවට එක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘රජය විසින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව තහවුරු කරන්න විශාල වැඩ කොටසක් ඉටුකර තිබෙනවා. කොතරම් මාර්ග සංවර්ධනය කලත් නවීන වාහන ආනයනය කලත් යටිතල පහසුකම් වැඩිදියුණු කලත් නිසි පුහුණුවක්, විනයක් නොමැති වූ විට මාර්ගයේ ආරක්‍ෂාව නැතිවෙනවා. වසරකට සිදුවන 2,700 කට අධික ජීවිත අහිමිවීම ක්‍රමිකව අඩුකරගන්න ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. 2029 වසර වනවිට සිදුවන මරණ සංඛ්‍යාව විශාල ප්‍රතිශතයකින් අඩුකර ගැනීම ඉලක්කයයි.

මත්ද්‍රව්‍ය භාවිත කරන සියයට පහලොවක්, දහඅටක් අතර සංඛ්‍යාවක් සිටින බව දැනට වාර්තා වෙනවා. සියයට පනස්තුනක් අනතුරුවලට හේතුව රියදුරන්ගේ ප්‍රශ්න. අනතුරුවලට පහසුවන ක්‍රියාකාරකම් සිදුවෙනවා. විනයක්, පුහුණුවක් නැතුව ප්‍රවාහනයේ ආරක්‍ෂාව හදන්න බැහැ. රජය විදියට ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව ප්‍රවාහනයේ ආරක්‍ෂාව ඇති කරන්න පියවර ගන්නවා. මගී ආරක්‍ෂාව අංක එකට ගෙන තිබෙනවා. අදහස්වලට එහා ගිය ක්‍රියාමාර්ගවලට ගිහින් තියෙනවා. රටට ගැළපෙන ප්‍රමිතිගත බස් රථ හා වාහන ආනයනය කරනවා. නිෂ්පාදිත වගකීම ගැන සැලකිලිමත් වෙනවා. මේ සියලු ආරක්‍ෂිත ප්‍රතිසංස්කරණ මගින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව සැලසීමට කටයුතු කරනවා. මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කරගැනීමට සමාජ පාඨමාලාවක් ලෙස සිදුකිරීම අවශ්‍ය වෙනවා.’

මෙම වැඩමුළුව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක වූ අතර, ඊට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරු, රසායනාගාර කාර්මික විද්‍යාඥයින්, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින රෝහල්වල ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන්, පශ්චාත් උපාධි පුහුණුවේ යෙදී සිටින අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවල විද්වතුන් හා වෘත්තිකයින් එක්වූහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *