ස්ත්‍රිය සහ පන්ති අරගලය
(සුරේඛා සමරසේන)
අද මැයි දිනේ –
මගේ අත තවමත් තුනපහ සුවඳයි…
උදේ තුනට නැඟිටල සතියක රෙදි හෝදල වනල
දරුවන්ට උයලත් තියලයි ආවෙ…
මං දන්නවා
සකපෝරුව සීරෙන හඬ අනුව අනුනාද වන හදවත් ඇති
මැටි සුවඳ ගෑනුන්ව…
ඇඳුම් මහන මැෂින් වල කොටසක් වෙච්චි –
ලාබ විලෙවුන් සුවඳ ගෑනුන්ව…
තේ සුවඳ – දාඩිය සුවඳ ගෑනුන් ව…
නිෂ්පාදන මාදිලිය වෙනස් වුණත්
වෙහෙස එකයි – මහන්සිය එකයි
වැටුප කුඩයි – ඒක හොඳටම මදියි…
ගෙදර බිත්ති හතර ඇතුළෙත්
අපි හැමෝම – හැම තිස්සෙම වැඩ
දවස දෙකට කැඩෙන්නෙ
එළියෙ වැඩටයි – ගෙදර වැඩට යි…
මං දැන් මෙතන ඉන්නෙ
ඒ හැම ගෑනියෙක්ගෙම
කළුපාට හෙවණැල්ල හැටියට යි…
මගේ කරේ තියෙන සාටකය
රතුපාට වෙලා තියෙන්නෙ
ඒ හැමෝගෙම ලේ වලින් කියල හිතන්න…
අරගලේදි විප්ලවේදි විතරක් නෙවෙයි
මාස් පතා ලේ හල හලයි අපි වැඩ කරන්නෙ…
දාඩිය විතරක් නෙවෙයි…
ඒ නිසා
අද අපි ඔසවන රතු කොඩියෙ බර දරන්නෙ
පුරුෂ අතක් – ස්ත්‍රී අතක් නෙවෙයි…
ඒක
ස්ත්‍රී පුරුෂ බේදයක් නැති කම්කරුවෙකුගෙ අතක් බව හිතන්න…
ඇගේ විප්ලවය
පංතියට විමුක්තිය උදෙසා පමණක් නෙවෙයි
ස්ත්‍රියට ද විමුක්තිය උදෙසා යි…
මොකද
ඇයට මැයි දිනේ පාරට එන්න
කාගෙන්වත් අවසර ගන්න ඕන නැති නිසා…
ආදරේ නාමයෙන් ගෙදරදී ඇයව සූරාකන පිරිමි තවදුරටත් ඕන නැති නිසා…
ඒ නිසා මම කියනවා
ස්ත්‍රී විමුක්තිය නැති තැන
සමාජවාදය කියන්නේ
අංග විකල දරුවෙක්…
ඉතිං
ඇගේ හඬ
ඔහුගේ හඬට අඩු නෙවෙයි…
ඇගේ සටන
ඔහුගේ සටනට පිටුපසින් නෙවෙයි…
මං අහන්නෙ-
“ස්ත්‍රී පුරුෂ වෙනසක් නැතුව පංතිය එකට නැගිටින දවස
කවද ද?”
මං කැමතියි
ඒ දවස අද වෙනව නං…
(2026/05/01)
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

