Latestදේශීය

තීන්දුව ජූලි 31

පාස්කු ඉරු­දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­රය පිළි­බඳ නිසි බුද්ධි තොර­තුරු ලැබී තිබි­ය­දීත්, එය වළක්වා ගැනී­මට කට­යුතු නොකි­රීම මඟින් සාප­රාධි ලෙස රාජ­කා­රිය පැහැර හැරීමේ චෝද­නාව යටතේ හිටපු ආර­ක්ෂක ලේකම් හේම­සිරි ප්‍රනාන්දු සහ හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්ද­රට එරෙ­හිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන ජූලි මස 31දා ප්‍රකාශ කිරී­මට කොළඹ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය ඊයේ (15) දින නියම කළේය. ප්‍රියන්ත ලිය­නගේ (සභා­පති), විරාජ් වීර­සූ­රිය සහ පී.එන්.ටී. බණ්ඩාර යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල හමුවේ මේ නඩු විභා­ගය පැවැ­ත්විණි. පැමි­ණිල්ලේ සාක්ෂි විභා­ග­යෙන් අන­තු­රුව විත්ති­ක­රු­වන් විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශ දුන් අතර ඉන්පසු දෙපා­ර්ශ්ව­යේම දේශන ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව නඩු විභා­ගය මෙලෙස අව­සන් විය. මේ නඩු විභා­ග­යේදී පැමි­ණිල්ල වෙනු­වෙන් කරුණු දැක්වූ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් සුද­ර්ශන ද සිල්වා මහතා කියා සිටියේ “ප්‍රහා­ර­යක් සිදු­වන දවස හරි­ය­ටම දැන­ගෙන නිදා­ගෙන සිටි නිල­ධා­රීන් පිරි­සක් ලෝක ඉති­හා­සයේ වෙනත් කොතැ­නක හෝ හමු­නො­වන නිසා මේ නඩු­වට පූර්වා­ද­ර්ශ­යක් ගත හැකි නඩු තීන්දු­වක් ශ්‍රී ලංකාවේ තබා වෙනත් රට­කින් හෝ හමු නොවන බවයි.”

දිව­යිනේ ස්ථාන කිහි­ප­යක පසුදා ප්‍රහා­ර­යක් සිදු­වන බවට ආර­ක්ෂක ලේකම් හේම­සිරි ප්‍රනාන්දු 2019 වසරේ අප්‍රේල් 20දා පස්වරු 4:53 වන විට දැන සිටි බවට නිශ්චිත සාක්ෂි තිබෙන බව පැමි­ණිල්ල කියා සිටි­යේය. මුල්ම බෝම්බ ප්‍රහා­රය සිදු­වූයේ පාස්කු ඉරිදා වන 21දා උදෑ­සන 8:45ට බවත් මේ කාර­ණය ගැන කාදි­නල් හිමි දැනු­වත් කළේ නම් සංචා­රක හෝටල් දැනු­වත් කළේ නම් මේ විනා­ශය සිදු­නො­වන බව කියා සිටි­යේය.

ප්‍රහා­රය එල්ල කරන පුද්ග­ල­යන්ගේ නම් සහ ස්ථාන අනා­ව­ර­ණය වී ඇති තත්ත්ව­යක් තුළ ඒ ගැන අදාළ ස්ථාන දැනු­වත් කිරී­මට හෝ එදින රාත්‍රියේ බුද්ධි අංශ ප්‍රධා­නීන්ගේ හදිසි රැස්වී­මක් කැඳ­වී­මට විත්ති­ක­රු­වන් පිය­වර නොගැ­නීම සාප­රාධි වර­දක් බව පැමි­ණිල්ල පෙන්වා දුන්නේය.

විත්ති­කරු ආර­ක්ෂක ලේක­ම්ව­රයා බැවින් ආර­ක්ෂක ඇමැ­ති­ව­රයා රටේ නැති අව­ස්ථා­වක, වැඩ බලන ඇමැ­ති­ව­ර­යකු නොමැති අව­ස්ථාවේ ඔවුන් වෙනු­වෙන් ආර­ක්ෂක මණ්ඩල රැස්වීමේ ප්‍රධා­නියා ලෙස කට­යුතු කළ තැනැත්තා ලෙස අඩුම තර­මින් දුර­ක­තන ඇම­තු­මක් මඟින් හෝ ජනා­ධි­ප­ති­ව­රයා දැනු­වත් කළ යුතු බව කියා සිටි­යේය. තම රාජ­කා­රිය පැහැර හරි­මින් නිද­හ­සට ජනා­ධි­ප­ති­ව­රයා සමඟ පැවති පිය පුතු සම්බ­න්ධය වැනි කතා ගෙතීම ධුරයේ වග­කීම් පැහැර හැරී­මක් බව පැව­සීය.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල් සුද­ර්ශන ද සිල්වා මහතා පැමි­ණිල්ලේ දේශ­නය කර­මින් තව­දු­ර­ටත් අව­ධා­ර­ණය කර සිටියේ, එව­කට ජනා­ධි­ප­ති­ව­රයා දිව­යිනේ නොසි­ටි­යද, එවැනි හදිසි අව­ස්ථා­වක අනු­මැ­තිය ලබා ගැනීමේ නිසි ක්‍රම­වේ­ද­යක් පැවති බවයි. එම නිසා විත්තිය වෙනු­වෙන් සාක්ෂි දෙමින් රුවන් විජ­ය­ව­ර්ධන මහතා දුන් සාක්ෂිය හරස් ප්‍රශ්න ඇසී­මේදී තමා අභි­යෝ­ග­යට ලක්කළ බව අධි­ක­ර­ණයේ විම­සී­ම­කට පිළි­තුරු දෙමින් පෙන්වා දුන්නේය.

යම් පුද්ග­ල­ය­කුට තමන් දරන තන­තුරේ වග­කීම ඉටු කිරී­මට නොහැකි නම් එම ධුර­යෙන් ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොකර රාජ­කා­රිය පැහැර හැරී­මෙන් සිදු වූ බර­ප­තළ විපා­ක­ව­ලට ඔවුන් වග­කිව යුතු බවත් පැමි­ණිල්ල තර්ක කර සිටි­යේය.

මේ සිදු­වීම විත්තිය දක්වන පරිදි රාජ­කාරි අත­ප­සු­වී­මක් නොව, වළක්වා ගැනී­මට හැකි­යාව තිබූ ප්‍රහා­ර­ය­කට ඉඩ සැලසූ ‘සාප­රාධි නොකර හැරී­මක්’ යන්න පැමි­ණිල්ලේ ස්ථාව­රය බව අති­රේක සොලි­සි­ටර් ජන­රා­ල්ව­රයා කියා සිටි­යේය.

විත්තිය වෙනු­වෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතු­කෝ­රළ මහතා සිය දේශ­න­යේදී කියා සිටියේ, බුද්ධි තොර­තුරු ලැබුණු මොහො­තේදී එහි මූලා­ශ්‍රය සහ විශ්වා­ස­දා­යක බව පරීක්ෂා කර­මින් සිටි බව නියෝජ්‍ය පොලි­ස්පති නිලන්ත ජය­ව­ර්ධන දැන්වූ බවයි.

“රියැ­දුරා හා බිරිය යන දෙදෙ­නා­ගෙන් බිරිය වඩා විශ්ව­ස­නීය වුවත් වාහ­න­යක ගමන් කරන විට භාර්යා­වගේ මත­යට වඩා රියැ­දුරු කියන දෙය විශ්වාස කළ යුතු බව“ උදා­හ­ර­ණ­යක් දක්ව­මින් විත්තිය පෙන්වා දුන්නේය.”

ප්‍රහා­රය පිළි­බඳ තොර­තුර ලැබුණු මූලා­ශ්‍රය විශ්වා­ස­දා­යක වුවද එහි අන්ත­ර්ගත තොර­තුරේ විශ්ව­ස­නී­ය­ත්වය තහ­වුරු කර ගැනී­මට නොහැකි වූ බවට කරුණු දැක්වීය. හිටපු පොලි­ස්ප­ති­ව­රයා ඒ මොහොතේ තමන් ‘බැහැ­රව’ සිටින බව දන්වා තිබූ බවත්, ලැබුණු තොර­තුරු තව­දු­ර­ටත් තහ­වුරු කර ගැනී­මට විදේ­ශීය බුද්ධි අංශ සමඟ සන්නි­වේ­ද­නය කර­මින් සිටි බවත් විත්තිය සඳ­හන් කළේය. තම සේවා­දා­ය­ක­යන්ට එල්ලව ඇති චෝද­නාව වන්නේ මිනී­මැ­රී­මට අනු­බල දීම බව කියා සිටි විත්තිය නීති­ඥයා, එවැනි චෝද­නා­වක් ඔප්පු කිරී­මට නම් විත්ති­ක­රු­වන් සහ සහ­රාන් ඇතුළු ප්‍රධාන අප­රා­ධ­ක­රු­වන් අතර පොදු චේත­නා­වක් තිබිය යුතු බව කියා සිටි­යේය.

විත්ති­ක­රු­වන්ට හිතා­ම­තාම ප්‍රහා­ර­යට ඉඩ ලබා දීමේ අභි­ලා­ෂ­යක් නොතිබූ බවත්, මෙය රාජ­කා­රි­මය මට්ට­මින් සිදු වූ අත­ප­සු­වී­මක් මිස සාප­රාධි අනු­බල දීමක් ලෙස සැල­කිය නොහැකි බවත් විත්තිය අව­ධා­ර­ණය කළේය. ජනා­ධි­ප­ති­ව­රයා දිව­යිනේ නොසි­ටීම නිසා හමු­දාව කැඳ­වී­මේදී ප්‍රායෝ­ගික බාධා පැවති බවත්, ආර­ක්ෂක ලේක­ම්ව­රයා තමන් සතු බල­තල අනුව ක්‍රියා කර ඇති බවට කරුණු දැක්වීය.

විත්තිය තව­දු­ර­ටත් පෙන්වා දුන්නේ,  “ප්‍රහා­රය පිළි­බඳ තමන් කලින් දැන සිටි බව හිටපු ආර­ක්ෂක ලේක­ම්ව­රයා මාධ්‍ය­යට පැව­සීම නිසා බුද්ධි තොර­තු­රක් ලැබී තිබුණු බව මෙරට ජන­තාව පම­ණක් නොව ජාත්‍ය­න්ත­ර­යද දැන­ගත් බවයි.”

“තාත්තා කිව්ව නිසා මම පල්ලි ගියේ නැහැ” යනු­වෙන් එව­කට රජයේ ප්‍රධාන දේශ­පා­ල­න­ඥ­යකු ප්‍රකාශ කළ බව පෙන්වා දුන් විත්තියේ නීති­ඥයා සිය සේවා­දා­ය­කයා ඇත්ත ප්‍රකාශ කළද එවැනි ප්‍රහා­ර­යක් සිදු­වන බව වග­කි­ව­යුතු බොහෝ දෙනකු දැන සිටි බව පෙන්වා දුන්නේය.

දෙපා­ර්ශ්ව­යේම මේ දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල, නඩුවේ තීන්දුව ලබන ජූලි මස 31දා ප්‍රකාශ කරන බව නිවේ­ද­නය කළේය. චුදි­ත­යන්ට විරු­ද්ධව අධි­චෝ­දනා 855ක් ඉදි­රි­පත්ව තිබේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *