තීන්දුව ජූලි 31
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මඟින් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ලබන ජූලි මස 31දා ප්‍රකාශ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (15) දින නියම කළේය. ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ පී.එන්.ටී. බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩු විභාගය පැවැත්විණි. පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව විත්තිකරුවන් විත්ති කූඩුවේ සිට සිය ප්‍රකාශ දුන් අතර ඉන්පසු දෙපාර්ශ්වයේම දේශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නඩු විභාගය මෙලෙස අවසන් විය. මේ නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා කියා සිටියේ “ප්‍රහාරයක් සිදුවන දවස හරියටම දැනගෙන නිදාගෙන සිටි නිලධාරීන් පිරිසක් ලෝක ඉතිහාසයේ වෙනත් කොතැනක හෝ හමුනොවන නිසා මේ නඩුවට පූර්වාදර්ශයක් ගත හැකි නඩු තීන්දුවක් ශ්‍රී ලංකාවේ තබා වෙනත් රටකින් හෝ හමු නොවන බවයි.”
දිවයිනේ ස්ථාන කිහිපයක පසුදා ප්‍රහාරයක් සිදුවන බවට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු 2019 වසරේ අප්‍රේල් 20දා පස්වරු 4:53 වන විට දැන සිටි බවට නිශ්චිත සාක්ෂි තිබෙන බව පැමිණිල්ල කියා සිටියේය. මුල්ම බෝම්බ ප්‍රහාරය සිදුවූයේ පාස්කු ඉරිදා වන 21දා උදෑසන 8:45ට බවත් මේ කාරණය ගැන කාදිනල් හිමි දැනුවත් කළේ නම් සංචාරක හෝටල් දැනුවත් කළේ නම් මේ විනාශය සිදුනොවන බව කියා සිටියේය.
ප්‍රහාරය එල්ල කරන පුද්ගලයන්ගේ නම් සහ ස්ථාන අනාවරණය වී ඇති තත්ත්වයක් තුළ ඒ ගැන අදාළ ස්ථාන දැනුවත් කිරීමට හෝ එදින රාත්‍රියේ බුද්ධි අංශ ප්‍රධානීන්ගේ හදිසි රැස්වීමක් කැඳවීමට විත්තිකරුවන් පියවර නොගැනීම සාපරාධි වරදක් බව පැමිණිල්ල පෙන්වා දුන්නේය.
විත්තිකරු ආරක්ෂක ලේකම්වරයා බැවින් ආරක්ෂක ඇමැතිවරයා රටේ නැති අවස්ථාවක, වැඩ බලන ඇමැතිවරයකු නොමැති අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ තැනැත්තා ලෙස අඩුම තරමින් දුරකතන ඇමතුමක් මඟින් හෝ ජනාධිපතිවරයා දැනුවත් කළ යුතු බව කියා සිටියේය. තම රාජකාරිය පැහැර හරිමින් නිදහසට ජනාධිපතිවරයා සමඟ පැවති පිය පුතු සම්බන්ධය වැනි කතා ගෙතීම ධුරයේ වගකීම් පැහැර හැරීමක් බව පැවසීය.
අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පැමිණිල්ලේ දේශනය කරමින් තවදුරටත් අවධාරණය කර සිටියේ, එවකට ජනාධිපතිවරයා දිවයිනේ නොසිටියද, එවැනි හදිසි අවස්ථාවක අනුමැතිය ලබා ගැනීමේ නිසි ක්‍රමවේදයක් පැවති බවයි. එම නිසා විත්තිය වෙනුවෙන් සාක්ෂි දෙමින් රුවන් විජයවර්ධන මහතා දුන් සාක්ෂිය හරස් ප්‍රශ්න ඇසීමේදී තමා අභියෝගයට ලක්කළ බව අධිකරණයේ විමසීමකට පිළිතුරු දෙමින් පෙන්වා දුන්නේය.
යම් පුද්ගලයකුට තමන් දරන තනතුරේ වගකීම ඉටු කිරීමට නොහැකි නම් එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, එසේ නොකර රාජකාරිය පැහැර හැරීමෙන් සිදු වූ බරපතළ විපාකවලට ඔවුන් වගකිව යුතු බවත් පැමිණිල්ල තර්ක කර සිටියේය.
මේ සිදුවීම විත්තිය දක්වන පරිදි රාජකාරි අතපසුවීමක් නොව, වළක්වා ගැනීමට හැකියාව තිබූ ප්‍රහාරයකට ඉඩ සැලසූ ‘සාපරාධි නොකර හැරීමක්’ යන්න පැමිණිල්ලේ ස්ථාවරය බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කියා සිටියේය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා සිය දේශනයේදී කියා සිටියේ, බුද්ධි තොරතුරු ලැබුණු මොහොතේදී එහි මූලාශ්‍රය සහ විශ්වාසදායක බව පරීක්ෂා කරමින් සිටි බව නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන දැන්වූ බවයි.
“රියැදුරා හා බිරිය යන දෙදෙනාගෙන් බිරිය වඩා විශ්වසනීය වුවත් වාහනයක ගමන් කරන විට භාර්යාවගේ මතයට වඩා රියැදුරු කියන දෙය විශ්වාස කළ යුතු බව“ උදාහරණයක් දක්වමින් විත්තිය පෙන්වා දුන්නේය.”
ප්‍රහාරය පිළිබඳ තොරතුර ලැබුණු මූලාශ්‍රය විශ්වාසදායක වුවද එහි අන්තර්ගත තොරතුරේ විශ්වසනීයත්වය තහවුරු කර ගැනීමට නොහැකි වූ බවට කරුණු දැක්වීය. හිටපු පොලිස්පතිවරයා ඒ මොහොතේ තමන් ‘බැහැරව’ සිටින බව දන්වා තිබූ බවත්, ලැබුණු තොරතුරු තවදුරටත් තහවුරු කර ගැනීමට විදේශීය බුද්ධි අංශ සමඟ සන්නිවේදනය කරමින් සිටි බවත් විත්තිය සඳහන් කළේය. තම සේවාදායකයන්ට එල්ලව ඇති චෝදනාව වන්නේ මිනීමැරීමට අනුබල දීම බව කියා සිටි විත්තිය නීතිඥයා, එවැනි චෝදනාවක් ඔප්පු කිරීමට නම් විත්තිකරුවන් සහ සහරාන් ඇතුළු ප්‍රධාන අපරාධකරුවන් අතර පොදු චේතනාවක් තිබිය යුතු බව කියා සිටියේය.
විත්තිකරුවන්ට හිතාමතාම ප්‍රහාරයට ඉඩ ලබා දීමේ අභිලාෂයක් නොතිබූ බවත්, මෙය රාජකාරිමය මට්ටමින් සිදු වූ අතපසුවීමක් මිස සාපරාධි අනුබල දීමක් ලෙස සැලකිය නොහැකි බවත් විත්තිය අවධාරණය කළේය. ජනාධිපතිවරයා දිවයිනේ නොසිටීම නිසා හමුදාව කැඳවීමේදී ප්‍රායෝගික බාධා පැවති බවත්, ආරක්ෂක ලේකම්වරයා තමන් සතු බලතල අනුව ක්‍රියා කර ඇති බවට කරුණු දැක්වීය.
විත්තිය තවදුරටත් පෙන්වා දුන්නේ, “ප්‍රහාරය පිළිබඳ තමන් කලින් දැන සිටි බව හිටපු ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යයට පැවසීම නිසා බුද්ධි තොරතුරක් ලැබී තිබුණු බව මෙරට ජනතාව පමණක් නොව ජාත්‍යන්තරයද දැනගත් බවයි.”
“තාත්තා කිව්ව නිසා මම පල්ලි ගියේ නැහැ” යනුවෙන් එවකට රජයේ ප්‍රධාන දේශපාලනඥයකු ප්‍රකාශ කළ බව පෙන්වා දුන් විත්තියේ නීතිඥයා සිය සේවාදායකයා ඇත්ත ප්‍රකාශ කළද එවැනි ප්‍රහාරයක් සිදුවන බව වගකිවයුතු බොහෝ දෙනකු දැන සිටි බව පෙන්වා දුන්නේය.
දෙපාර්ශ්වයේම මේ දීර්ඝ කරුණු දැක්වීම් සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල, නඩුවේ තීන්දුව ලබන ජූලි මස 31දා ප්‍රකාශ කරන බව නිවේදනය කළේය. චුදිතයන්ට විරුද්ධව අධිචෝදනා 855ක් ඉදිරිපත්ව තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

