Latestදේශීය

අප දෙරටේ සබදතාවය සියවස් ගණනාවක් ඈතට ඇදී යනවා – අනුර කුමාර දිසානායක

මාලදිවයින් ජන රජයේ ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මැතිතුමා, සජිදා මොහොමඩ් මැතිණිය සහ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු මාලදිවයින් නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට පිළිගැනීමට ලැබීම ඉමහත් සතුටක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සදහන් කරයි. 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (04) ජනාධිපති කාර්යාලයේදී ශ්‍රී ලංකා – මාලදිවයින් ජනාධිපතිවරු සහභාගි වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

පාරාදීසයක් තරම් සුන්දර රටක් ලෙස නොපැකිලිව සඳහන් කළ හැකි මාලදිවයිනේ සංචාරය කිරීමේ අවස්ථාව 2025 ජූලි මාසයේදී අපිට ලැබුණා. අප ජාතින් දෙක අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 60 වන සංවත්සරය සනිටුහන් කරමින් සිදු කළ එම සංචාරයේදී මම ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරතවන ලෙස මාලදිවයින් ජනාධිපතිවරයා වෙත ආරාධනා කළා. එම ආරාධනය පිළිගැනීම පිළිබඳව මම එතුමාට ස්තූතිවන්ත වෙනවා.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින එකිනෙකා කෙරෙහි ගෞරවය ලබා දෙන ලස්සන රටවල් දෙකක්. ආගන්තුක සත්කාර සහ සංවේදි හදවත් තිබෙන මිනිසුන් ජීවත්වන රටවල් දෙකක්. අපේ දෙරට අතර නිල රාජ්‍ය තාන්ත්‍රික සබදතා ආරම්භ වුයේ 1965 ජූලි 26 වන දින. මාලදිවයින නිදහස ලැබූ පළමු දිනයේ සිට බව ඇත්ත. නමුත් එම සබඳතා නිල කාලයට වඩා සියවස් ගණනාවක් පුරා ඈතට දිව යනවා.

ඓතිහාසික වාර්තාවලට අනුව විජයකුමරු සමඟ පැමිණි කණ්ඩායමේ කොටසක් පදිංචි වූ ස්ථානය මාලදිවයින බව මහාවංශයේ සඳහන් වෙනවා. ඒ අනුව බලන විට අපේ සබඳතා මිත්‍රත්වය අන්‍යෝන්‍ය ගෞරව සහ සමීප සංස්කෘතිය සහ භාෂාමය බැදීම් දක්වා සියවස් ගණනාවක් ඈතට මුල්බැස තිබෙනවා. ඒ සියල්ල අපේ රටවල් දෙක අතර බැදීම් ශක්තිමත් කර තිබෙනවා. වසර ගණනාවක් පුරා මෙම ඓතිහාසික සබදතා අපේ කලාපයේ සාමය, සමගිය සහ තිරසර සංවර්ධනය සඳහා පොදු අභිලාෂයන් ජයග්‍රහණය කිරීමේ පදනම බවට පත්වී තිබෙනවා.

වෙළෙඳාමේ විවිධාංගීකරණය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වික සබදතාවල ශක්තිමත් අංගයක් බව සිහිපත් කළ යුතුයි. විශේෂයෙන් සාර්ක් රටවල් අතර ශ්‍රී ලංකාව සඳහා තුනවන විශාලතම අපනයන ගමනාන්තය මාලදිවයින බව ගෞරවයෙන් මතක් කරනවා. ඒ අප දෙරට පවත්වාගෙන යන අඛණ්ඩ පුද්ගල සබදතා මෙන්ම සමීප මිත්‍රශීලි ද්විපාර්ශ්වික සබඳතා සඳහා සාක්ෂියක් වෙනවා. එම සමිපතාව අපේ රටවල් දෙකට එක්ව, අවබෝධයෙන් පෙරට යාමට මහගු අවස්ථාවක් ලබා දෙනවා.

දේශගුණය, මානව ගුණය, ආර්ථිකය සංස්කෘතික විචිත්‍රත්වය, ජීවන රටාව, ආගන්තුක සත්කාර යනාදිය මේ සියල්ල ගෙන බැලු විට අපේ රටවල් දෙක අතර බොහෝ සමානකම් සහ සමීපකම් තිබෙනවා. අප අතර අසමානකමකට ඇත්තේ මාලදිවයින තැනිතලා සුන්දර බිමක් වීම සහ ශ්‍රී ලංකාව කඳුවැටි සහිත සුන්දර බිමක් වීම පමණයි කියා මට සිතෙනවා.

අප දෙරට අතර තිබෙන සමීපතම බැදීමේ ඉතා හෘදයාංගම අත්දැකීම් බොහොමයක් තිබෙනවා.

විශේෂයෙන් ශ්‍රී ලංකාව මැතකාලීනව මුහුණ දුන් අතිශය අවාසනාවන්ත ස්වභාවික ව්‍යසනය වු දිට්වා සුළි කුණාටුවෙන් පසු මාලදිවයින රජය සහ ජනතාව අපිට ශක්තියක් වූ ආකාරය මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරනවා.

තමන්ගේ අසල්වැසියෙක් ව්‍යසනයකට හෝ පීඩාවකට ලක් වූ පසුව ක්ෂණිකව මැදිහත්වීමේ ආදර්ශය මාලදිවයින සහ එරට ජනතාව ක්‍රියාවෙන් ඔප්පු කළා. ඒ ලබාදුන් අතිමහත් සහයෝගීතාව සහ ත්‍යාගශීලිභාවය වෙනුවෙන් මම ජනාධිපති මුයිසුටත්, මාලදිවයින් රජයටත් එරට ජනතාවටත් මගේ කෘතවේදීත්වය පළ කරනවා.

ව්‍යසනය මොහොතේ අප වෙත දිගු කල දෑත් හදවතේ ගැඹුරු ගෞරවයකින් සිහිපත් කරනවා. ජනාධිපති මුයිසු සහ මම දූත පිරිස සමග පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී අපේ බහුවිධ සබදතාවල වර්තමාන තත්ත්වය සමාලෝචනය කළා.

විශේෂයෙන් ගෝලීය දේශපාලන විපර්යාස සහ එහි බලපැම අපේ රටවල් දෙකටම පොදු තර්ජනයක් සහ ගැටලුවක් වී තිබෙන අතර ඊට විසදුම් සෙවීම සඳහා අපේ රටවල් දෙක ජාත්‍යන්තර සංසදවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළා. මුහුදු මට්ටම ඉහළ යාමට සහ ගෝලීය උණුසුමට එරෙහිව මාලදිවයින විශාල සටනක් සිදුකරන අතර එම සටනේදී මාලදිවයිනේ විශ්වාසනීය සටන් සගයෙකු ලෙස අප කටයුතු කරන බව සිහිපත් කරනවා.

අපගේ දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ලබා දීම සඳහා බොහෝ ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ විවිධාංගීකරණය කිරීමට ඇති ක්‍රම පිළිබඳව අපි අදහස් හුවමාරු කර ගත්තා. විශේෂයෙන්ම සංචාරක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය, ක්‍රීඩා සහ තරුණ සංවර්ධන, ලේඛනාගාර, ආරක්ෂක අංශ යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පිළිබද අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබුවා.

කලාපයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව මාලදිවයින පිළිගන්නා අතර මාලදිවයින සමඟ මෙම හවුල්කාරිත්වය තවදුරටත් පුළුල් කිරීමට අපි උනන්දු  වෙනවා. විශේෂයෙන් තොරතරු තාක්ෂණ සහ කෘත්‍රීම බුද්ධිය, ධීවර සහ කෘෂි සැකසුම්, සංචාරක සහ විවේකය මෙන්ම දේපළ වෙළෙඳාම් සහ නාගරික යටිතල පහසුකම් අංශවලටඅදාළව ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස මාලදිවයින් ව්‍යාපාරවලට මම ආරාධනා කළා.

හෙට එනම් මැයි 5 වැනි දින පැවැත්වීමට නියමිත ව්‍යාපාරික සංසදයේ සාර්ථකත්වය සඳහා මම මගේ සුබපැතුම් පිරිනමන අතර, එය ඉදිරි දිනවලදී බොහෝ ඵලදායී හවුල්කාරිත්වයන් සඳහා මගපාදනු ඇතැයි මම විශ්වාස කරනවා.

සාගරය නිවහන කරගත් දූපත් ජාතින් ලෙස අපගේ ජීවන රටාව සහ ප්‍රවර්ධනය සාගරය මතම බොහෝ සෙයින් රඳා පවතින බව සිහිපත් කළ යුතුයි. මෙම සන්දර්භය තුළ ධීවර ක්ෂේත්‍රයේ අපගේ රටවල් දෙක අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම අරමුණු කරගත් යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම ජනාධිපති මුයිසුට ස්තූතිවන්ත වෙනවා.

මාලදිවයිනේ කාර්මික ධීවර සමාගම් යටතේ නිෂ්පාදනය කරන ලද ධීවර නිෂ්පාදන කොළඹදී දියත් කිරීමේ උත්සවයට ජනාධිපති මුයිසු නායකත්වය දෙනවා. මේ උත්සවය සාර්ථක වන ලෙසත්, ඵලදායී හවුල්කාරිත්ව ගොඩනගා ගැනීමට හැකිවන ලෙසත් මම මගේ සුබපැතුම් පිරිනමනවා.

අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා සැලකිය යුතු විභවතාවක් ඇති බෝට්ටු නිෂ්පාදන අංශයේ සහයෝගීතාවේ අමතර හැකියාවන් ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාව දක්වන උනන්දුව පිළිබඳව මම ජනාධිපති මුයිසුට දැනුම් දුන්නා.

ඒ වගේම  මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ සාර්ථකත්ව ශ්‍රී ලංකාවට හිතකර බලපෑමක් ඇති කරන අතර, සංචාරකයින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන දෙකම ද්විත්ව ගමනාන්තයක් ලෙස තෝරා ගන්නවා. මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ ආයෝජන සිදු කර ඇති බොහෝ ශ්‍රී ලාංකික සමාගම් තිබෙනවා. ඒ නිසා සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ අපේ රටවල් දෙකටම ලබාගත හැකි අවස්ථාවන් ගවේෂණය කිරීම ඉතා ඵලදායී වෙනවා.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර දැනටමත් විශිෂ්ට ගුවන් සම්බන්ධතාවක් පවතින අතර ගුවන් සේවා මෙන්ම සමුද්‍රීය සම්බන්ධතාවේ සහයෝගීතාව අපගේ ආර්ථිකයන් දෙකටම වැදගත් වන සංචාරක අංශයට සහාය වනු ඇතැයි මම විශ්වාස කරනවා.

අද උදෑසන අපගේ සාකච්ඡා අතරතුර කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය සඳහා අපගේ හවුල් කැපවීම නැවත තහවුරු කළා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින ඉන්දියන් සාගරයේ මංසන්ධිවල පිහිටි රාජ්‍යයන් දෙකක්. අප දරටම බොහෝවිට පොදු බලපෑම්වලටත් මුහුණ දෙන රටවල් වෙනවා. විවිධ ජාවාරම්වලට හා තර්ජනවලට අපේ රටවල් සහ අපේ මුහුදු සීමා පත්කර ගැනීමට ඉඩ නොදීමට සාමුහික ක්‍රියාමාර්ග ගතයුතුව තිබෙනවා.

මෙම විශේෂ අවස්ථාවේදී ශ්‍රී ලංකාව මාලදිවයිනේ මහ කොමසාරිස් කාර්යාලය සඳහා කොළඹින් ඉඩමක් වෙන් කර ඇති බවත්, එයට ප්‍රතිචාර වශයෙන් මාලදිවයින විසින් මාලේහි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහා ඉඩමක් වෙන්කර ඇති බවත් මම නිවේදනය කිරීමට කැමැතියි. අදාළ ගිවිසුම් අවසන් කිරීමට රජයන් දෙකම කටයුතු කරමින් සිටිනවා.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවට මෙම සංචාරය සිදු කිරීම පිළිබඳව ජනාධිපති මුයිසු, ආර්යාව සහ සම්භාවනීය දූත කණ්ඩායමේ සාමාජිකයන්ට නැවත වරක් මාගේ අවංක කෘතඥතාව පළ කිරීමට කැමතියි.

ඔබතුමා අප රටෙහි සංචාරය කිරීම තුළින් අප දෙරට අතර ශක්තිමත් හවුල්කාරිත්වයට පාදක වන හොද හිත, විශ්වාසය සහ මිත්‍රත්වය පිළිබිඹු වනවා. මෙම සංචාරය ඉදිරි වසරවලදී අපගේ සබඳතා තවදුරටත් තහවුරු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.

සෑම සාධනීය කටයුත්තක් උදෙසාම ඔබගේ දෙවන නිවහනෙහි දොරටු විවෘතව ඇති බව සිහිපත් කරනවා.

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සිදු කළ කතාව

අපේ ජාතීන් දෙක එකට බැඳ තබන ගැඹුරු ඉතිහාසය, ඔරොත්තු දීමේ හැකියාව සහ මිත්‍රත්වය පිළිබිඹු කරන නගරයක් වන කොළඹ නගරයේ සිටීමට ලැබීම මහත් ගෞරවයකි.

මා ඇතුළු මගේ බිරිඳට සහ මගේ දූත පිරිසට දක්වන ලද උණුසුම් ආගන්තුක සත්කාරය වෙනුවෙන් ජනාධිපති දිසානායක මැතිතුමාටත්, ශ්‍රී ලංකා රජයට සහ ජනතාවටත් මගේ අවංක කෘතඥතාව පිරිනමමි. මෙම සංචාරය අපගේ සමීප අසල්වැසි සබඳතා යළි තහවුරු කිරීමක් පමණක් නොව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අලුත් වූ සහ ඉදිරිගාමී හවුල්කාරිත්වයක ආරම්භය ද සනිටුහන් කරයි.

ජනාධිපති දිසානායක මැතිතුමා සහ මම ද්විපාර්ශ්වික, කලාපීය සහ ගෝලීය කරුණු රාශියක් ආවරණය වන පරිදි ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වූයෙමු. වෙළෙඳ සහ ආයෝජන, සෞඛ්‍ය, ආරක්ෂක, අධ්‍යාපන, තරුණ හා ක්‍රීඩා සංවර්ධන, ධීවර, පරිසර සහ සමාජ සංවර්ධන යන ප්‍රධාන ක්ෂේත්‍ර ඔස්සේ අපගේ හවුල්කාරිත්වය ඉහළ නැංවීමට අපි එකඟතාවයකට පැමිණියෙමු.

උසස් අධ්‍යාපන හා පුහුණු, ලේඛනාරක්ෂක සහයෝගීතාව, සෞඛ්‍ය, ආරක්ෂක, තරුණ හා ක්‍රීඩා සංවර්ධන සහ සංචාරක වැනි අංශවල සහයෝගීතාව ශක්තිමත් කරන වැදගත් ගිවිසුම් කිහිපයකට අද දින අපි එළඹුණෙමු. අපගේ අවධානය දැන් පැහැදිලිය: එනම් මෙම ගිවිසුම් ක්‍රියාත්මක කිරීම සහ ඒවායේ ප්‍රතිලාභ අපගේ ජනතාවට ප්‍රායෝගිකව අත්කර දීම සහතික කිරීමයි.

අද දින අපගේ සාකච්ඡාවල ප්‍රධාන කුළුණක් වූයේ ආර්ථික සහයෝගීතාවයි. මාලදිවයිනේ සංවර්ධනය සඳහා ශ්‍රී ලාංකිකයන් දක්වන සැලකිය යුතු දායකත්වය මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන මාලදිවයින් ප්‍රජාවගේ වැදගත් මැදිහත්වීම් පැවැත්ම පිළිබඳව ද මම මගේ අගය කිරීම ප්‍රකාශ කළෙමි.

අනාගතය දෙස බලන විට, වෙළෙඳ සහ ආයෝජන ප්‍රවාහයන් පුළුල් කිරීමටත්, වඩාත් හිතකර සහ ආයෝජක-හිතකාමී වටපිටාවක් නිර්මාණය කිරීමටත්, නව ව්‍යාපාරික අවස්ථා විවෘත කිරීමටත් අපි කැපවී සිටිමු. හෙට දින පැවැත්වෙන මාලදිවයින්-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය දෙරටේ ව්‍යාපාරිකයන්, ආයෝජකයන් සහ නවෝත්පාදකයින් සම්බන්ධ කරන ප්‍රධාන වේදිකාවක් වනු ඇත. මාලදිවයින් බැංකුවේ (Bank of Maldives) ශාඛාවක් මෙහි ශ්‍රී ලංකාවේ පිහිටුවීමට ඇති හැකියාව සහ මාලදිවයිනේ උසස් තත්ත්වයේ ධීවර නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වා දීම ඇතුළු පුළුල් මුලපිරීම් පිළිබඳව ද අප ගවේෂණය කරමින් සිටිමු.

එමෙන්ම, අපගේ ආර්ථික සබඳතාව වඩාත් සමබර, සාධාරණ සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වන බව සහතික කරමින්, පවතින වෙළෙඳ අසමතුලිතතාවය විසඳීමේ වැදගත්කම ද මම අවධාරණය කළෙමි.

අධ්‍යාපනය සහ තරුණ සවිබල ගැන්වීම අපගේ ජාතික ප්‍රමුඛතාවල ඉහළින්ම පවතින බැවින්, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව, අනාගත කර්මාන්ත සඳහා කුසලතා සංවර්ධනය, ආයතනික හවුල්කාරිත්වයන් සහ දැනුම හුවමාරු කර ගැනීම සඳහා සහයෝගීතාව ශක්තිමත් කිරීමට අපි එකඟ වූයෙමු. අපගේ ඉලක්කය පැහැදිලිය: වේගයෙන් වෙනස් වන ලෝකයක දියුණු වීමට අවශ්‍ය කුසලතාවලින් අපගේ තරුණ පරපුර සන්නද්ධ කළ යුතු වේ.

දූපත් රාජ්‍යයන් ලෙස අපගේ අනාගතය ඉන්දීය සාගරයෙන් එකට බැඳි ඇත. තිරසාර ධීවර කළමනාකරණය, සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීම සහ සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වූ අපගේ පොදු කැපවීම අපි යළිත් තහවුරු කළෙමු. ඒකාබද්ධ අභ්‍යාස, පුහුණුව සහ ධාරිතා වර්ධනය මගින් ශ්‍රී ලංකාව ලබා දෙන අඛණ්ඩ සහයෝගය මාලදිවයින ඉහළින්ම අගය කරයි.

ප්‍රතිපත්ති සහ ආර්ථිකයට ඔබ්බෙන්, අපගේ සබඳතාව මුල් බැස ඇත්තේ ජනතාව, සංස්කෘතිය සහ හවුල් උරුමය මතය. සංස්කෘතික හුවමාරුව, අධ්‍යයන සහයෝගීතාව සහ සමාජ සංවර්ධන මුලපිරීම් හරහා සබඳතා පුළුල් කිරීමට අපි එකඟ වූයෙමු. මෙම සබඳතා අපගේ නොසැලෙන මිත්‍රත්වයේ පදනම ලෙස දිගටම පවතිනු ඇත.

දේශගුණික විපර්යාස ඇතුළු ගෝලීය ගැටලු පිළිබඳව ද අපි වැදගත් සාකච්ඡා පැවැත්වූ අතර, එය අප දෙරටේම පැවැත්මට තර්ජනයක්ව පවතී. එබැවින් වඩාත් ශක්තිමත් ජාත්‍යන්තර උපදේශනය, ඒකාබද්ධ පාරිසරික මුලපිරීම් සහ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සඳහා වූ සාමූහික ක්‍රියාමාර්ග සඳහා වන අපගේ කැපවීම අපි යළි තහවුරු කළෙමු.

සම්භාවනීය අමුත්තනි, මාලදිවයින්-ශ්‍රී ලංකා සබඳතාවල නව සහ ගතික පරිච්ඡේදයක ආරම්භය අද සනිටුහන් වේ. මෙම හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමටත්, කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමටත්, සාමය, ස්ථාවරත්වය සහ පොදු සමෘද්ධිය ඇති කිරීමටත් මාලදිවයින අඛණ්ඩව කැපවී සිටී.

අපගේ ජනතාවට සැබෑ ප්‍රතිඵල ගෙන දෙන සහ ඉන්දීය සාගර කලාපයට අර්ථාන්විත දායකත්වයක් සපයන හවුල්කාරිත්වයක් ගොඩනැගීමට අපි එක්ව කටයුතු කරන්නෙමු.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *