සනත් නිශාන්තගේ රැස්ගත් ජගත් සමන්තට ලැබුණු තීන්දුව
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත මහතාගේ සහෝදරයා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත සම සංවිධායක ජගත් සමන්ත මහතාට බරපතළ වැඩ සහිත අවුරුදු පහ හමාරක සිරදඬුවමක් හලාවත මහාධිකරණ විනිසුරු නියෝමි වික්‍රමසේකර මහත්මිය විසින් විසින් ඉකුත් 15 දා නියම කරනු ලැබුවාය. එමෙන්ම රුපියල් ලක්ෂ 10 ක වන්දියක් හා රුපියල් එක්ලක්ෂ තිස් හය දහසක දඩයක් ද ගෙවන ලෙසත් එම ලක්ෂ 10ක වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඬුවමක් ද අධිකරණය විසින් නියම කර ඇත.
2008 වර්ෂයේ 11.24 දින ආරච්චිකට්ටුව, කරුක්කුලිය, ජයතිලිනාරම විහාරස්ථානයේදී ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය ලේකම්වරයකු වන ධනසේන සුරසිංහ මහතාට පහර දී රාජකාරියට බාධා කිරීම, නීති විරෝධි රැස්වීමක සාමාජිකයකු වීම, අඩන්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා කීපයක් සනත් නිශාන්ත හා ජගත් සමන්ත යන දෙදෙනාට එරෙහිව ඉදිරිපත් කර තිබිණි.
2017 සිට වසර නවයක කාලයක් මේ නඩුව හලාවත මහාධිකරණයේ විභාග වූ අතර මෙහි පළමු චුදිත ලෙස නම් කර තිබුණේ හිටපු ඇමැතිවරයකු වූ නැසීගිය සනත් නිශාන්ත මහතායි. දෙවැනි චුදිත ලෙස එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත මහතා නම් කර තිබිණි.
එවකට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාව සිටි ධනසේන සුරසිංහ මහතා මාසයක පමණ කාලයක සිට ප්‍රදේශයේ වැව් රක්ෂිත හා මාර්ග දෙපස වටිනා ගස් කපා ප්‍රදේශයේ විහාරස්ථානයක දහම් පාසල් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට කටයුතු කරන බවට පිරිසක් පැමිණිලි කර තිබේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයා හලාවත
පොලීසිය හා අඩවි වන නිලධාරීන් රැගෙන විහාරස්ථානයට ගොස් දැව තොගය මැනුම් කටයුතු කිරීමට යෑමේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ එවකට සභාපති ජගත් සමන්ත මහතා ප්‍රධාන පිරිසක් පැමිණ රාජකාරියට බාධා කර ඇති අතර පසුව විහාරස්ථානයේ ඝාන්ටාරය ගසා ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් කැඳවා ප්‍රාදේශීය ලේකම්වරයාගේ හා අදාළ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර ඇත. පසුව හිටපු අමාත්‍ය, එවකට වයඹ පළාත් සභා මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැමිණ ප්‍රාදේශීය ලේකම්වරයාගේ කම්මුලට ගැසූ බවත් මේ නඩුවේදී ඔප්පු වී තිබේ .
ධනසේන සුරසිංහ මහතා පසුගියදා (15) හලාවත මහාධිකරණයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විශාල ජනතාවක් ඉදිරියේ පහරදීම හේතුවෙන් තමන් විශාල ලෙස ලැජ්ජාවට හා පීඩනයකට පත්වූ බවයි. මේ නිසා තමන් ඉන් පසු ස්ථාන මාරුවක් ලැබ ගිය බව ද වැඩිදුරටත් පැවසීය .
මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් වර්තමාන කොළඹ අංක 05 මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර හලාවත හිටපු මහාධිකරණ විනිසුරුවරිය කියා සිටියේ රාජ්‍ය සේවකයනට ස්වාධීනව කටයුතු කිරීමට හැකියාව පැවතිය යුතු බවයි. ඔවුන්ගේ රාජකාරිය නිසි ලෙස කිරීමට නොහැකි තත්ත්වයක් සිදු වනවා නම් එය ගැටලුවක් බව ද ඇය පැවසුවාය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

