හෝමුස් ඉරාන මධ්‍යස්ථානවලට අමෙරිකාව පහර දෙයි
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) ආශ්‍රිතව පිහිටි ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන සහ නෞකා ඉලක්ක කර ගනිමින් ස්වයං ආරක්ෂක ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඇමෙරිකානු ආරක්ෂක අංශ නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.
දෙරට අතර පවතින සතුරුකම් අවසන් කර සටන් විරාමයක් අත්කර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අඛණ්ඩව සාකච්ඡා පැවැත්වෙන පසුබිමක අමෙරිකාව මෙම ප්‍රහාර එල්ල කිරීම විශේෂත්වයකි. මෙම වර්ධනයත් සමඟ කලාපීය ආරක්ෂාව සහ ඉදිරි සාම සාකච්ඡාවල ස්ථාවරත්වය පිළිබඳව ජාත්‍යන්තර අවධානය යළිත් දැඩි වී ඇත.
මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කරනු ලබන ජාත්‍යන්තර නෞකාවලින් කිසිදු අතිරේක ගාස්තුවක් අය නොකරන බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර සිටී. කෙසේ වෙතත් එම මුහුදු සීමාව හරහා යාත්‍රා කිරීමේදී නෞකා වෙත සපයනු ලබන අත්‍යවශ්‍ය සේවාවන් සඳහා වන පිරිවැය (Service Charges) පමණක් අය කර ගැනීමට පියවර ගන්නා බව ද එරට විදේශ අමාත්‍යාංශය පැහැදිලි කර ඇත.
මෙම වාතාවරණය මධ්‍යයේ අදහස් දක්වමින් ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ ඇමෙරිකානු පරිපාලනය සමඟ ඇති කරගනු ලබන කිසිදු ගිවිසුමක් හෝ එකඟතාවක් සම්බන්ධයෙන් පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකි බවයි.
එසේම දෙරට අතර කිසියම් හෝ සාමකාමී එකඟතාවක් ඇතිවීම වැළැක්වීම සහ ඊට බාධා පැමිණවීම සඳහා ඊශ්‍රායලය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ගත හැකි සෑම පියවරක්ම ඉදිරියේදී ගනු ඇතැයි ද ඉරානය චෝදනා කර සිටී.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

