ධීවරයින්ට ලබාදුන් ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවන්න – රත්න ගමගේ
ධීවර කර්මාන්තය නගා සිටුවීමට වත්මන් රජය මේ වසරේදී සුවිශාල මුදලක් වෙන් කර තිබෙන බවත් එම ප්‍රතිපාදන කිසිදු ප්‍රමාදයකින් තොරව, අර්ථවත් ලෙස ධීවරයාගේ සුභසාධනය වෙනුවෙන් යොදවන ලෙස ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.
මාතර දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන වෘත්තීය සහ යටිතල පහසුකම් ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම අරමුණු කරගත් දෙවන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට මේ බව පැවසුවේය.
නිලධාරීන්ගේ කැපවීම මෙහිදී අතිශය වැදගත් බවත් කිසිදු පරිපාලනමය බාධාවක් ඉදිරියට දමමින් ධීවර ජනතාවට ලබාදිය යුතු සේවය ප්‍රමාද කිරීමට ඉඩ තැබිය නොහැකියි බවද ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී මූලික වශයෙන් ගන්දර ධීවර වරාය ඉදිකිරීම් කටයුතුවල පවතින ප්‍රමාදය සහ ඉන් උද්ගතව ඇති සාමාජීය හා පාරිසරික ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. ගන්දර, නිල්වැල්ල, දෙවිනුවර සහ කෝට්ටේගොඩ යන ධීවර වරායන්හි වසර ගණනාවක සිට ගොඩගැසී ඇති අබලන් යාත්‍රා දැඩි පාරිසරික තර්ජනයක් වී ඇති බැවින්, ඒවා වහාම ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය හා පරිපාලනමය මැදිහත්වීම සිදුකරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එසේම දෙවිනුවර වරායට බෝට්ටු අලුත්වැඩියා අංගනයක් ලබාදීම සහ ගන්දර වරාය ආශ්‍රිතව පොලිස් මුරපොළක් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
ගැඹුරු මුහුදේදී ධීවර යාත්‍රා මුහුණ දෙන කාර්මික දෝෂ, අනතුරු සහ ධීවරයින් රෝගී වන අවස්ථාවලදී අමාත්‍යාංශය හරහා සෘජු මැදිහත්වීමක් සිදුකළ හැකි විධිමත් යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාව අමාත්‍යවරයා අවධාරණය කළේය. මීට අමතරව ධීවර වරාය සන්නිවේදන පද්ධති සක්‍රීය කිරීම, ධීවර රක්ෂණ හා විශ්‍රාම වැටුප් ගැටලු නිරාකරණය කිරීම මෙන්ම මිරිදිය හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නගා සිටුවීමට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) හරහා ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් පුළුල් කිරීමට තීරණය විය.
මෙම අවස්ථාවට බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ආර්කම් ඉල්යාස්, පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ, මාතර දිස්ත්‍රික් ලේකම්, දික්වැල්ල සහ දෙවිනුවර ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු අමාත්‍යාංශය, ධීවර වරාය නීතිගත සංස්ථාව, නාරා (NARA), සීනෝර් (Cey-Nor) සහ NAQDA යන ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

