මැදපෙරදිග යළි ඇවිලෙයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයට තාවකාලික විසඳුමක් ලෙස පසුගිය අප්‍රේල් මාසයේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද, 104 වැනි දිනයටත් යුදගැටුම් දිග්ගැස්සෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ස්ථීර සටන් විරාමයක් සඳහා ඉරාන රජය එකඟ කරගැනීමේ උත්සාහයක් ලෙස පිට පිට දෙවැනි දිනයටත් ඉරානයට අමෙරිකානු හමුදාවෙන් ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඉරානය පුරා පිහිටි හමුදා නිරීක්ෂණ පද්ධති, සන්නිවේදන පද්ධති සහ ගුවන් ආරක්ෂණ මධ්‍යස්ථාන ඉලක්ක කරමින් පෙරේදා රාත්‍රියේ සිට පැය 4ක් අඛණ්ඩව ප්‍රහාර එල්ල කළ බව අමෙරිකානු මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ. නවතම ප්‍රහාරයට හේතුවී ඇත්තේ පසුගියදා හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදි අමෙරිකාවට අයත් අපාචි වර්ගයේ ප්‍රහාරක හෙලිකොප්ටරයක් ඉරාන හමුදාව විසින් වෙඩි තබා බිම හෙළීම බවද වාර්තා වේ. ඉරාන ආරක්ෂක හමුදාවෙන් එල්ල වන තර්ජන මැඬපැවැත්වීමට සහ ආත්මාරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව පහර දෙන බවට ද අමෙරිකාව නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටි මධ්‍යම හමුදා අණදෙන මධ්‍යස්ථානය ඉදිරිපිට දී වාර්තාකරුවන් ඇමතූ අමෙරිකාවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කළ බවය. අවශ්‍ය වුවහොත් ඉදිරි දිනවලදීත් ඉරානයට පහර දෙන බවට අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා අනතුරු අඟවා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අමෙරිකාව සහ ඉරානය අතර යළි යුද ගැටුම් උද්ගත වීමෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ද ඉහළ ගොස් ඇති අතර, ඊයේ පස්වරුව වන විට බ්‍රෙන්ට් මිල දර්ශකයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 93.13 දක්වා සහ ටෙක්සාස් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 90.25 දක්වා ඉහළ ගිය බව වාර්තා වේ.
ඇමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර ස්ථිර සටන් විරාමයක් ඇති කරගැනීමේ උත්සාහයන්හි කොටසක් ලෙස වොෂින්ටනය විසින් ඉරානයේ “ප්‍රධාන මධ්‍යස්ථාන” ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) තහවුරු කළේය. ෆ්ලොරිඩාවේ ටැම්පාහි පිහිටි CENTCOM මූලස්ථානයෙන් පිටත සිට අදහස් දක්වමින් හෙග්සෙත් ප්‍රකාශ කළේ, ඉරානයට “ප්‍රබල” ප්‍රහාරයක් එල්ල කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කළ බවත්, අවශ්‍ය වුවහොත් දෙවැනි දිනටත් අඛණ්ඩව මෙම ප්‍රහාර පැවතිය හැකි බවට ඔහු අනතුරු ඇඟවූ බවත්ය. ඉරාන රජය අමෙරිකාව සමඟ එකඟතාවකට පැමිණීමට අසමත් වන්නේ නම් ඉදිරියේදී තවදුරටත් හමුදා ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව මීට පෙර ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. ඉරානය ඕනෑවට වඩා කාලය ගත් බවත්, දැන් ඔවුන්ට ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවී ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

