Latestදේශීය

ගැබ්ගෙල පිළිකා තුරන් කරන එන්නතක්

වයස අවුරුදු 12ත් 13ත් අතර පසුවන දරුවන්ට HPV හෙවත් හියුමන් පැපිලෝමා වයිරස් එන්නත ලබා දීමෙන්, ඔවුන් වයස අවුරුදු 30ක් වීමට පෙර ගැබ්ගෙල පිළිකාවෙන් මිය යාමේ අවදානම සම්පූර්ණයෙන්ම පාහේ නැති වී යන බව නවතම පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා.

මෙම එන්නත පාසල් වියේ පසුවන දැරියන්ට ලබා දීම 2008 වසරේදී එංගලන්තයේ ආරම්භ කෙරුණු අතර, එතැන් පටන් මේ දක්වා එරට තුළ පමණක් කාන්තාවන් 200කගේ පමණ ජීවිත බේරා ගැනීමට මෙමඟින් හැකි වී ඇති බවයි අදාළ පර්යේෂණය පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම, 2020 සහ 2024 වසරවල් අතර කාලය තුළ වයස අවුරුදු 20ත් 24ත් අතර පසුවන කිසිදු කාන්තාවකගේ ගැබ්ගෙල පිළිකා මරණයක් වාර්තා වී නොමැත. වසර පහක කාලසීමාවක් තුළ මෙවැනි තත්ත්වයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි. මෙම එන්නත ලබා නොදුන්නේ නම් එම වයස් කාණ්ඩයේ මරණ 23ක් පමණ සිදුවීමට ඉඩ තිබූ බව විද්‍යාඥයෝ පවසවති.

ලන්ඩනයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පර්යේෂක මහාචාර්ය පීටර් සාසියේනි (Prof Peter Sasieni) ප්‍රකාශ කළේ, එක් එන්නත් මාත්‍රාවකින් මෙවැනි පිළිකාවක් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට හැකිවීම අදහාගත නොහැකි ජයග්‍රහණයක් බවයි.

කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ කාන්තාවන් අතර තවමත් 14 වැනියට බහුලවම දක්නට ලැබෙන පිළිකාව වන්නේ ගැබ්ගෙල පිළිකාවයි. එහිදී වසරකට රෝගීන් 3,300ක් පමණ අලුතින් හඳුනා ගැනෙනවා. සමට සම ස්පර්ශ වීමෙන් බෝවන එච්.පී.වී. (HPV) වෛරසය මෙවැනි පිළිකා තත්ත්වයන්ගෙන් 99%ක් වගකිව යුතු බව සොයාගෙන තිබෙනවා. බොහෝ ආසාදන ශරීරයෙන් ඉබේම සුව වුවද, ඇතැම් ආසාදන නිසා සෛලවල අසාමාන්‍ය වෙනස්කම් සිදුවී, වසර ගණනාවකට පසු පිළිකා තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකියි.

පර්යේෂණ වාර්තාව පවසන්නේ එන්නත ලබා ගන්නා පිරිස වයස්ගත වෙත්ම, මෙම රෝගයෙන් සිදුවන මරණ සංඛ්‍යාව තවදුරටත් ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇති බවයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *