Latestවිදේශීය

හමාස් සංවිධානය ඉවත් වෙයි

වසර තුනක් පුරා සිදුවන යුද ගැටුම් සමථයකට පත්වීමේ බලාපොරොත්තු ඉහළ නංවමින් ගාසා තීරයේ පරිපාලන කමිටුව විසුරුවා හැරීමට හමාස් සංවිධානය තීරණය කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ගාසා තීරයට ස්ථීර සාමයක් උදා කිරීම සඳහා සිවිල් පරිපාලනයකට අවස්ථාව ලබාදෙමින් මේ තීරණය ගත් බව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

ගාසා තීරයේ සිය සංවිධානය විසින් පවත්වාගෙන ගිය සියලු රජයේ ආයතන විසුරුවා හරින බවත්, සිවිල් පරිපාලනයක් ස්ථාපිත කිරීමට තාක්ෂණික කමිටුවකට ඉඩ ලබා දෙන බවත් හමාස් සංවිධානයේ මාධ්‍ය කාර්යාලය නිවේදනය කර තිබේ. අමෙරිකාවේ මැදිහත්වීමෙන් පසුගිය වසරේ ඔක්තෝබරයේදී ඇතිකරගත් සටන් විරාම ගිවිසුමේ දෙවැනි අදියර වශයෙන් හමාස් සංවිධානය ගාසා තීරයේ පරිපාලනයෙන් ඉවත්වීම අනිවාර්ය වන අතර, එම පරිපාලන ක්‍රියාවලිය පහසු කිරිමට ගාසා තීරයේ හමාස් රජයේ ප්‍රධානියා වන මොහොමඩ් අල් ෆරා සිය ධුරයෙන් නිල වශයෙන් ඉවත්වනු ඇතැයි ද අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

වසර 2006 පැවැති ගාසා තීරයේ ව්‍යවස්ථාදායක මැතිවරණයේ ජයග්‍රහණයෙන් පසු 2007 වසරේදි ගාසා තීරයේ පාලනය බාර ගත් හමාස් සංවිධානය දේශපාලන හා සන්නද්ධ හමුදාව වශයෙන් ක්‍රියාත්මක වූ බවත්, පරිපාලනයෙන් ඉවත්වීමට තීරණය කිරීම එම සංවිධානයේ කැපී පෙනෙන දේශපාලන වෙනසක් බවත් වාර්තා වේ. හමාස් සංවිධානය ගාසා තීරයේ පරිපාලනයෙන් ඉවත්වීමට සූදානම් බව සටන් විරාමය ආරම්භයේ සිට වරින් වර ප්‍රකාශ කළද, ආයුධ බිම තැබීම පිළිබඳ ගැටලුව මෙතෙක් විසඳී නොමැති බව ද වාර්තා වේ. කෙසේ වෙතත් ඊශ්‍රායල- හමාස් සටන් විරාම ගිවිසුමට අනුව ගාසා තීරයේ අනාගත පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම පැවරී ඇති ගාසා පරිපාලනය සඳහා වන ජාතික කමිටුව කඩිනමින් එහි ඉදිරි කටයුතු ආරම්භ කරනු ඇතැයි හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *