Latestදේශීය

ප්‍රසන්නගේ කප්පම් තර්ජනය තහවුරුයි – වන්දි නොගෙව්වොත් වසර 09ක් ඇතුළට

ඉඩමක් ගොඩකිරීම සඳහා අවසර ලබාදීමට අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධ  බස්නාහිර පළාත් හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංගට ඒරෙඑහි නඩුවෙන් වරදකරු කර ඊට නියම කළ රුපියල් ලක්ෂ 100ක වන්දි මුදල, 2027 වසරේ ජූලි මස 06 වැනිදාට පෙර ගෙවා නිම කළ යුතු බව කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

අධිකරණය නියම කළ මෙම ගෙවීම් පැහැර හරිනු ලැබුවහොත්, අභියාචනාධිකරණ නියෝගය කඩකිරීමේ වරද යටතේ විත්තිකරුට වසර 09ක සිරදඬුවමක් නියම කරන බවද කොළඹ මහාධිකරණය මෙහිදී අවධාරණය කර තිබේ.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අදාළ වන්දි මුදල නියමිත කාලසීමාව තුළ ගෙවා නිම කරන බවට අධිකරණය හමුවේ පොරොන්දු වී ඇත. එම පොරොන්දුව සැලකිල්ලට ගත් අධිකරණය විත්තිකරු මුදාහැරීමට පියවර ගෙන ඇත.

ප්‍රසන්න රණතුංග බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කළ සමයේ, කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු වරදකරු වී තිබිණි.

එම වරදට රුපියල් ලක්ෂ 250ක දඩයක් සහ ලක්ෂ 100ක වන්දියක් ගෙවන ලෙස කොළඹ මහාධිකරණය මීට පෙර නියෝග කර තිබූ අතර, එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනයක තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නඩුව කැඳවා තිබිණි.

හිටපු ඇමැති ප්‍රසන්න රණතුංගට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ 2015 වසරේ අප්‍රේල් 10 වැනිදා ඉඩමක් ගොඩකිරීමට අවසර දීම සඳහා එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක මුදලක් ඉල්ලා, ඉන් රුපියල් ලක්ෂ 150ක මුදලක් ලබා ගැනීමේ චෝදනාවටය.

ප්‍රසන්න රණතුංගට අමතරව ඔහුගේ බිරිඳ වන මොරිස් ස්ටෙලා රණතුංග සහ නරේන් කුමාර් ෆාරික් යන අය විත්තිකරුවන් ලෙස නම් කර අධිචෝදනා 05ක් යටතේ කොළඹ මහාධිකරණය ඉදියේ මෙම නඩුව පවරා තිබුණි. එහිදී 03 වැනි විත්තිකරු වන කුමාර් ෆාරුක් යන අය නඩුවට ඉදිරිපත් නොවීම නිසා, අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 241 වැනි වගන්තිය යටතේ විත්තිකරු නොමැතිව නඩු විභාගය පවත්වන ලදි.

නඩු විභාගයේදී පැමිණිල්ල වෙනුවෙන් එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයා ඇතුළු සාක්ෂිකරුවන් 07 දෙනකු ඉදිරිපත් කෙරුණු අතර, විත්ති පාර්ශ්වය වෙනුවෙන් දෙවැනි විත්තිකාර ස්ටෙලා රණතුංග විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කළ අතර ආර්.පී. නුවන් රාජපක්ෂ යන අය සාක්ෂි දෙන ලදි.

කොළඹ මහාධිකරණය 2022 ජූනි 06 වැනිදා ප්‍රකාශ කළ තීන්දුව අනුව ප්‍රසන්න රණතුංග වරදකරු බව ප්‍රකාශ කෙරිණි. ඒ අනුව ඔහුට බරපතළ වැඩ සහිතව වසර 2ක සිරදඬුවමක් නියම කළ අධිකරණය එය වසර 5කට අත්හිටුවීමට පියවර ගත්තේය. ඊට අමතරව රුපියල් ලක්ෂ 250ක දඩයක් සහ අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 100ක වන්දියක් ගෙවීමට නියම වූ අතර නඩුවේ දෙවැනි විත්තිකාරිය වූ ඔහුගේ බිරිඳ වන මොරිස් ස්ටෙලා රණතුංග යන අය නිදහස් කෙරිණි.

කොළඹ මහාධිකරණය නිකුත් කළ එම වරදකරු කිරීමේ නියෝගයට එරෙහිව විත්තිකරු විසින් අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර, එම පෙත්සම මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂි මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගැනුණි. එහිදී විත්ති පාර්ශ්වය විසින් දඩ හා වන්දි මුදල් ගෙවීම සඳහා අමතර කාලයක් ඉල්ලා සිටි අතර, පැමිණිලි පාර්ශ්වය එම ඉල්ලීමට විරුද්ධ නොවිය.

අභියාචනාධිකරණය ඉදිරියේ එකඟ වී ඇත. විත්තිකරුට නියම කර ඇති ලක්ෂ 100ක වන්දි මුදලින් ලක්ෂ 40ක් මේ වනවිටත් ගෙවා අවසන් කර තිබේ.

ප්‍රසන්න රණතුංග බස්නාහිර මහ ඇමතිව සිටි සමයේ නිලධාරීන්ට තර්ජනය කරන ආකාරය දැක්වෙන දුරකථන සංවාදයක් ද එකල සමාජ මාධ්‍යවල හුවමාරු විය.

@Lankatruth.com


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *