Latestදේශීය

යෝෂිත සමඟ විවාහ වීමේ අදහසින් ප්‍රේම සම්බන්ධයක් තිබුණා – යසාරා අබේනායක කියයි

තමා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැති බවත් ඒ අවධියේ ඔහු තමාගේ මහගෙදරට ඉදිරිපිට පිහිටි නිවෙස මිල දී ගැනීමට අපේක්ෂාවෙන් සිටි බවත් යසාරා අබේනායක මහත්මිය කොළඹ මහාධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් ඊයේ (9) කියා සිටියාය.

යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති අයථා වත්කම් නඩුවක් මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේ සාක්ෂිකාරිය විවෘත අධිකරණයේ මේ බව පවසා සිටියාය.

තමා 2009 වසරේ සිට 2013 වසරේ මැද දක්වා යෝෂිත රාජපක්ෂ සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බව කියා සිටි සාක්ෂිකාරිය, එම කාලයේ csn නාළිකාවේ ප්‍රධානී ලෙස සේවය කළ බවත් කියා සිටියේය. එසේම ඒ වන විට යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවේ සේවය කළ බව පවසා සිටියාය.

විවාහ වෙන අදහසින් සබඳතාව පවත්වාගෙන ගිය බවත් කේන්දර නොගැළපෙන බව දෛවඥයන් පැවසූ නිසා එම සම්බන්ධය බිඳ වැටුණු බව පවසන ලදි.

මේ කාලයේ තමා රත්මලාන සිරිමල් උයනේ පිහිටි කෙකටිය පෙදෙසේ මවුපියන් සමඟ වාසය කළ බව අධිකරණයට දැනුම් දුන්නාය.

ඇගේ මාමා වන වසන්ත ජයසූරිය යන අයගේ මහගෙදර ඉදිරිපිට පිහිටි ලූෂන් රත්නායකගේ නිවෙස මිල දී ගැනීමට අදහස් කරගෙන සිටි බව තමා දැන සිටි බව සාක්ෂිකාරිය වෙතින් ප්‍රකාශ විය.

යෝෂිත රාජපක්ෂ එම නිවෙස මිල දී ගැනීමට අදහස් කළ බැවින් තම මාමා ඔහුට මුණගැස්වූ බව සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය.

තමා ශිරන්ති රාජපක්ෂ මහත්මියට අයත් මහගෙදරට ගොස් ඇති බව ප්‍රකාශ කළ සාක්ෂිකාරිය තමා එම නිවෙසට යන විට දෙමහල් පැරණි නිවෙසක් හා එයට යාබද නව නිවෙසක් ඉදිකරමින් තිබුණු බව ප්‍රකාශ කළාය.

යෝෂිතගේ ඩේසි ආච්චි පැරණි නිවෙසේ කාමරයක රැඳී සිටි අතර ඇය බලා ගැනීමට සේවිකාවක සිටි බව කීවාය.

විත්තියේ හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විවාහයෙන් පසු එම නි‍ෙවසේ පදිංචියට යෑම පිළිබඳ අවබෝධයක් තමන්ට තිබුණු බව කියා සිටියාය.

2012 වසරේ අගෝස්තු මස 01දා සහ 2013 වසරේ අගෝස්තු 29දා අතර කාලය තුළ දී රාජගිරියේ දී සහ බම්බලපිටියේදී රුපියල් ලක්ෂ 735කට ආසන්න මුදලක් උපයාගත් ආකාරය හෙළිකළ නොහැකිවීමේ චෝදනාව යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

නීතිවිරෝධි ක්‍රියාකාරකමකින් හෝ ක්‍රියාකාරකම් කිහිපයකින් ලද මුදල් ඍජුවම හෝ වක්‍ර ලෙස උපයාගත් මුදල් බව දැන දැනම නැතහොත් එසේ දැන ගැනීමට හේතු ඇතිව බැංකු ගිණුම් සහ ස්ථාවර තැන්පතුවල තැන්පත් කිරීම යටතේ චෝදනා නඟා තිබේ. එමඟින් මුදල් විශුද්ධිකරණ වරද සිදුකිරීම හා එකී වරද සිදුකිරීමට අනුබලදීම සහ ක්‍රියා කිරීමට එකඟ වීමෙන් ක්‍රමන්ත්‍රණය කළ බව ද එකී කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයකින් එම වරද සිදුකිරීම ඇතුළු අධිචෝදනා 3ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සිදුකර තිබේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ වරලත් ගෘහ නිර්මාණ ශිල්පී රංග දයාසේන මහතා සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියේය.

පැමිණිල්ල:- මේ නඩුව විභාගයට ගන්නා අවස්ථාවේ දී, එම පරිශ්‍රයේ කටයුතු සඳහා ඔබව සම්බන්ධ කරගත්තේ කවුද? ඔබ එහි දී ඉටුකළ කාර්යභාරය කුමක්ද?

සාක්ෂිකරු:- යෝෂිත රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව මා අභ්‍යන්තර නිර්මාණ කටයුතු සඳහා සම්බන්ධ වුණා. මට මතක හැටියට මාස කිහිපයක් තිස්සේ මේ ගොඩනැඟිලිවල විවිධ මට්ටම්වල වැඩ කටයුතු ගැන අපි සාකච්ඡා කළා.

පැමිණිල්ල:- ඔබව සම්බන්ධ කරගත්තේ ගොඩනැඟිලි සැලැස්මක් ඇඳීමටද?

සාක්ෂිකරු:- නැහැ, ගොඩනැඟිලි සැලැස්මක් අඳින්න නෙමෙයි. අභ්‍යන්තර අලංකරණය සඳහායි මගේ සේවය ලබාගත්තේ. මම සම්බන්ධ වන විට එහි සැකිල්ල හදා තිබුණා.

කාල්ටන් පෙර පාසලේ ගෘහ අලංකරණය සඳහා තමා සම්බන්ධ වූ බවත් එය පුණ්‍ය කටයුත්තක් නිසා එ් සඳහා ගෙවීමක් ලබා නොගත් බවත් මේ කටයුත්තද සුළු කාර්යයක් නිසා තමා මුදල් ඉල්ලා නොසිටි බවත් සාක්ෂිකරු කියා සිටියේය‍.

පැමිණිල්ල:- ඔබ ‘csn’ ආයතනය ගැන දන්නවාද?

සාක්ෂිකරු:- ඔව්, ‘csn’ ආයතනය සමඟ තමයි කටයුතු කළේ.

එම ආයතනය හරහා තමයි අලුත්වැඩියා (renovation) කටයුතු සහ සැලසුම් කිරීම් සිදු වුණේ. මම දැනුවත් වුණේ එය නාළිකාවක ප්‍රධානියකුගේ ආයතනයක් ලෙසයි.

පැමිණිල්ල:- මේ කටයුතු සිදු වූ කාලසීමාව ඔබට මතකද?

සාක්ෂිකරු:- ඔව්, වර්ෂයෙන් මතක හැටියට 2010ත් 2014ත් අතර කාලයේදී.

පැමිණිල්ල:- එම ඉඩම සහ එහි තිබූ ගොඩනැඟිලි ගැන විස්තර කරන්න.

සාක්ෂිකරු:- එම ඉඩම සාමාන්‍යයෙන් පර්චස් 20කට වඩා වැඩි ප්‍රමාණයක් තිබුණා.

එහි පරණ ගොඩනැඟිලි දෙකක් සහ අලුතින් ඉදිවූ තට්ටු හතරක ගොඩනැඟිල්ලක් තිබුණා. මම යන විට පරණ ගොඩනැඟිලි තිබුණා, පසුව තමයි අලුත් තට්ටු හතරේ එක හැදුණේ.

පැමිණිල්ල:- ඔබ මේ සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ හමුවී සාකච්ඡා කළාද?

සාක්ෂිකරු:- ඔව්, අභ්‍යන්තර අලංකරණ සහ රූප අලංකරණ කටයුතු ගැන අපි සාකච්ඡා කළා.

පැමිණිල්ල:- මේ නි‍ෙවස කා වෙනුවෙන් හදන එකක් කියලද ඔබ දැනගෙන සිටියේ?

සාක්ෂිකරු:- මට කවුරුත් කෙළින්ම කියා තිබුණේ නැහැ.

නමුත් මට දැනගන්න ලැබුණු විදිහට එය යෝෂිත රාජපක්ෂ මහත්මයාගේ මවට අයත් නිවෙසක්. ඔහුට එන්න මෙය සකස් කරන බව යෝෂිත මහත්මයා කිව්වා.

පැමිණිල්ල:- ඔබ මේ සම්බන්ධයෙන් විදත් තැපෑල හරහා පණිවිඩ හුවමාරු කළාද?

සාක්ෂිකරු:- ඔව්, 2012 වසරේදී මගේ කාර්යාලයේ සිට යෝෂිත රාජපක්ෂට සහ යසාරා අබේනායකට මේ නි‍ෙවසේ ගෘහ අලංකරණ සැලැස්ම ඊමේල් යොමු කළා. එහි දිනය මාර්තු 8 ද අගෝස්තු 3 ද කියා මට හරියටම මතක නැහැ. එහි බේස්මන්ට්, ග්‍රවුන්ඩ් ෆ්ලෝර්, පළමු, දෙවැනි සහ තෙවැනි මහල්වල සැලසුම් ඇතුළත් වුණා.

පැමිණිල්ල:- යෝෂිත සහ යසාරා අතර තිබූ සම්බන්ධය ඔබ දුටුවේ කොහොමද?

සාක්ෂිකරු:- මට හිතුණු ආකාරයට ඔවුන් පෙම්වතුන් යුවළක්.

ඔවුන්ගේ විවාහයෙන් පසුව පදිංචි වීම සඳහා මෙම නිවෙස සකස් කරන බවට අදහසක් තිබුණා.

පැමිණිල්ල:- ‘බේස්මන්ට්’ එකේ මොන වගේ දෙයක්ද කරන්න යෝජනා වුණේ?

සාක්ෂිකරු:- එහි සේවාදායකයාගේ ප්‍රදර්ශන භාණ්ඩ, කුසලාන සහ පදක්කම් වැනි දේවල් තැන්පත් කිරීමට ප්‍රදර්ශන පුවරු නිර්මාණය කිරීමට අපි යෝජනා කළා.

පැමිණිල්ල:- ඔබ මේ සඳහා ‘ආමරි’ (ආයුධ ගබඩාව) වැනි නමක් භාවිත කළේ ඇයි?

සාක්ෂිකරු:- මම නිර්මාණ කරන විට ඒ ඒ අවකාශයන්ට විශේෂ නම් දෙනවා.

‘ආමරි’ කියන නම දැම්මේ ඒ අවකාශය බුද්ධිමය හෝ ආගමික හැඟීමක් එන ලෙස නිර්මාණය කිරීමට තිබූ නිසා. එවැනි නම් මම නිර්මාණාත්මකව යෙදූ ඒවා.

පැමිණිල්ල:- එම සැලසුමේ ‘ස්කයිලයිට්’ එකක් සහ බෝට්ටුවක හැඩයක් ගැනත් සඳහන් වුණා නේද?

සාක්ෂිකරු:- ඔව්, ස්කයිලයිට් එකක් සහ ඒ ආශ්‍රිතව බෝට්ටුවක අනුරුවක් වැනි නිර්මාණයක් කිරීමට අපි යෝජනා කළා.

පැමිණිල්ල:- පළමු මහලේ කිරීමට සැලසුම් කළ විශේෂ නිර්මාණය කුමක්ද?

සාක්ෂිකරු:- එහි ලෝහමය ගුවන් යානයක අනුරුවක් තැබීමට අපි යෝජනා කළා. ඒක එසම්බල් ආට් එකක්. මරදානේ තිබෙන අශ්වයා වගේ එකක්.

පැමිණිල්ල:- ආරක්ෂක කුටි සම්බන්ධයෙනුත් සැලසුමේ තිබුණා නේද? එය යෝෂිත මහත්මයා හිටපු ජනාධිපතිතුමාගේ පුත්‍රයකු නිසා විශේෂයෙන් කළ දෙයක්ද?

සාක්ෂිකරු:- අපි ඕනෑම නිර්මාණයකදී ඇතුළුවන ස්ථානයේ ආරක්ෂක කුටියක් යෝජනා කරනවා. එය ජනාධිපතිතුමාගේ පුතා නිසාම කළ දෙයක් නෙමෙයි, එය අපේ සාමාන්‍ය පුහුණුව අනුව කරන දෙයක්.

පැමිණිල්ල:- ඔබ 2016දී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් කරමින් පැවසුවාද මෙය පවුලේ අයට අලුතින් ඉදි කරන නිවෙසක් බව?

සාක්ෂිකරු:- මට දැන් ඒ ගැන නිශ්චිත මතකයක් නැහැ. නමුත් පවුලේ අය මෙවැනි වැඩවලට සහභාගි වීම සාමාන්‍ය දෙයක්.

පැමිණිල්ල:- මේ සැලසුම් සියල්ලම ක්‍රියාත්මක වුණාද?

සාක්ෂිකරු:- නැහැ, මේවා බොහොමයක් යෝජනා පමණයි. මම 2014න් පස්සේ මේ වැඩවලට සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසා ඒවා ඒ විදිහටම නිම කළාද කියා මම දන්නේ නැහැ. මම අයින් වන විට වැඩ අවසන් වී තිබුණේ නැහැ.

අනතුරුව විත්තිය සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසන ලදි. ඒවාට පිළිතුරු දෙමින් සාක්ෂිකරු යෝෂිත හා යසාරා යන දෙපළ පෙම්වතුන්ව සිටි බවත්, මේ නිවසේ යෝෂිත රාජපක්ෂගේ මවගේ මහගෙදර ලෙස තමා දැන සිටි බවත් කියා සිටියේය. විවාහයෙන් පසු ඔවුන් එම නි‍ෙවසේ පදිංචියට පැමිණීමට අදහස් තිබුණු බවට තමන්ට වැටහුණු බව කියා සිටියේය.

(ඩේසි ෆොරස්ට් යන අයට කෙකටිය පෙදෙස නිවෙස අලෙවි කළ ලූෂන් රත්නායක (අවු: 85) යන අය සාක්ෂි දෙමින් මෙසේ කියා සිටියේය.)

පැමිණිල්ල:- ඔබ අද මේ අධිකරණයේ සාක්ෂි දෙන්න පැමිණ සිටින්නේ කෙකටිය පෙදෙසේ පිහිටි ඔබගේ ඉඩමක් විකිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් නේද?

සාක්ෂිකරු:- ඔව්, ඒ ඉඩම විකුණපු එක ගැන තමයි.

පැමිණිල්ල:- ඒ ඉඩම විකුණන්න හේතුව මොකක්ද?

සාක්ෂිකරු:- අපේ ළමයි දැන් ඉන්නේ පිටරට. ඒ නිසා අපි ඒක විකුණන්න කල්පනා කළා. ඒ වගේම අපට රාජගිරියේ එපාට්මන්ට් එකක් තිබුණා.

පැමිණිල්ල:- විකිණීමට අදහස් කළ ඉඩමේ ප්‍රමාණය කොච්චරද?

සාක්ෂිකරු:- පර්චස් 31.5ක්.

පැමිණිල්ල:- ඔබ ඒකට කීයක් බලාපොරොත්තු වුණාද?

සාක්ෂිකරු: මිලියන 34.5ක් තමයි බලාපොරොත්තු වුණේ.

පැමිණිල්ල:- කවුද ඒ මිල තීරණය කළේ?

සාක්ෂිකරු:- පර්චස් 1කට මම මිලියනය බැගින් බලාපොරොත්තු වුණා.

සාක්ෂිකරු වැඩිදුරටත් සාක්ෂි දෙමින්, යසාරා අබේනායකගේ මාමා කෙනකු වන වසන්ත ජයසූරිය යන අය තමාගේ අසල්වැසියකු බව කියා සිටියේය.

නිවෙස විකුණන බව තමා ඔහුට දැන්වූ බවත්, මිල ගණන් ගැන එකඟත්වයක් නොවීම නිසා ගනුදෙනුව වරින් වර කල් ගිය බවත් පවසා සිටියේය.

වසර කිහිපයකට පසු තමාට ගනුදෙනුකරුවකු හමුවූ බව වසන්ත ජයසූරිය පවසා සිටිය බවත්, එහෙත් ඔහුගේ නම හෙළිදරවු නොකළ බවත් සාක්ෂිකරු කියා සිටියේය. අනතුරුව පැමිණිල්ල ඉඩම් ගනුදෙනුව ගැන ප්‍රශ්න කර සිටියේය.

පැමිණිල්ල:- ඔබ ඒ ලේඛනවල අත්සන් කරද්දී ගැනුම්කරුගේ නම විදිහට තිබ්බේ මොකක්ද?

සාක්ෂිකරු:- ඒකේ තිබුණේ ‘ඩේසි ෆොරස්ට්’ වගේ නමක්. මම ඒක දැක්කේ පස්සේ. ඒ වෙලාවේ මම ඇහුවා ‘ඩේසි ෆොරස්ට්’ කියන්නේ කවුද කියලා. යාළුවෙක් කියලා ඔහු කිව්වා. කෙනා කවුද කියලා කිව්වේ නැහැ.

තමාට රාජගිරියේ පදිංචිව සිටින නිසා ඒ ආසන්නයේ පිහිටි පෞද්ගලික බැංකුවකදි ඔප්පුවට අත්සන් කිරීම යොදාගත් බවත් එහි කාර්ය මණ්ඩලය මුදල් ගණනය කිරීම කළ බවත් පවසා සිටියේය.

පැමිණිල්ල:- සල්ලි ලැබුණු විදිහ ගැන මතකද?

සාක්ෂිකරු:- සල්ලි එවනවා කියලා වසන්ත කිව්වා. මම කාමරේ ඉන්නකොට ඔහු කිව්වා සල්ලි ලැබුණා කියලා. විශාල මුදල් ගනුදෙනුවක් නිසා බැංකුව අපට මේ ගනුදෙනුව කරන්න කාමරයක් ලෑස්ති කරලා දුන්නා. නමුත් ගනුදෙනුව කරන වෙලාවේ කාමරයේ හිටියේ මම, බිරිය, ඇගේ සාත්තු සේවිකාව, වසන්ත සහ නීතිඥයා පමණයි.

පැමිණිල්ල:- ඒක වුණේ කවදාද?

සාක්ෂිකරු:- 2012 ඔක්තෝබර් 9දා.

පැමිණිල්ල:- කොච්චර මුදලක් ලැබුණද?

සාක්ෂිකරු: මිලියන 24ක චෙක්පතක් සහ තවත් මිලියන 10ක චෙක්පතක් විදිහට ලැබුණා. සේරම මිලියන 34.5ක්. ඒ මුදල එදාම

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවට දැම්මා.

පැමිණිල්ල:- ගනුදෙනුවට කලින් ගැනුම්කරුවෝ කවුරුහරි ඉඩම බලන්න ආවද?

සාක්ෂිකරු:- ඊට කලින් ආවද කියලා මතකයක් නැහැ. හැබැයි මීට අවුරුදු දෙකකට විතර කලින් අපි ගරාජ් සේල් එකක් දැම්මා. ඒ වෙලාවේ යසාර හා යෝෂිත ඇවිත් විකුණන්න තිබුණ භාණ්ඩ බලලා ගියා.

පැමිණිල්ල:- ඉඩම විකුණන වෙලාවේ ඔබ ගෙදරින් යන්න සූදානමින්ද හිටියේ?

සාක්ෂිකරු:- ඔව්. 2012 ඔක්තෝබර් වෙනකොට අපි බඩු අස්කරලා හිටියේ.

(එම සාක්ෂියෙන් පසු වසන්ත ජයසූරිය යන අය සාක්ෂි දෙන ලදි.)

ඔහු තමා දේපළ වෙළෙඳාම් කිරීම සහ සංචාරක හෝටල් ව්‍යාපාරයේ නිරතව සිටින බව කියා සිටියේය.

පැමිණිල්ල:- ඔබ ව්‍යාපාරික කටයුතුවල නිරත වන අයෙක්ද?

සාක්ෂිකරු:- ඔව්. මම ව්‍යාපාර කටයුතු කරනවා.

පැමිණිල්ල:- ඔබ සාමාන්‍යයෙන් ඉඩම් මිල දී ගෙන ඒවා සංවර්ධනය කිරීම වැනි කටයුතු කරනවාද?

සාක්ෂිකරු:- ඔව්. මම කාලයක ඉඳලා ඒ වගේ දේවල් කරනවා.

පැමිණිල්ල:- රත්නායක මහතාගේ මේ ඉඩම විකුණන බව ඔබ මුලින්ම දැනගත්තේ කොහොමද?

සාක්ෂිකරු:- ඒක රහසක් නෙවෙයි. අවුරුදු ගණනාවක ඉඳලා පවුලේ අය සහ අසල්වැසියන් අතර ඒ ගැන කතාබහක් තිබුණා.

පැමිණිල්ල:- මෙම ඉඩම මිල දී ගැනීමට සැබවින්ම උනන්දු වූයේ කවුද?

සාක්ෂිකරු:- යෝෂිත රාජපක්ෂ මහතා තමයි මේ ඉඩම මිල දී ගැනීමට උනන්දු වුණේ.

පැමිණිල්ල:- ඔහු ඒ සඳහා උනන්දු වීමට විශේෂ හේතුවක් තිබුණද?

සාක්ෂිකරු:- ඒ කාලේ ඔහු විවාහ වීමට සූදානමින් සිටියේ යසාරා අබේනායකව. ඇය මගේ බිරියගේ නංගිගේ දුව. ඔවුන් විවාහ වන අදහසින් මුදු මාරු කරගෙන හිටියා.

පැමිණිල්ල:- ඔබ මේ ගනුදෙනුවට සම්බන්ධ වුණේ කොහොමද?

සාක්ෂිකරු:- යෝෂිත රාජපක්ෂ මහතා ඉඩම මිල දී ගැනීමට කැමති බව පැවසුවා. මම ඒ ගැන කැමැති වුණා. ඒ අනුව ගේ මිල දී ගැනීමට කැමැති ගැනුම්කරුවකු ඉන්න බව මම විකුණුම්කරුට පැවසුවා.

පැමිණිල්ල:- ඔබ ගැනුම්කරුගේ සැබෑ අනන්‍යතාව විකුණුම්කරුට හෙළි කළාද?

සාක්ෂිකරු:- නැහැ, මම ඒ බව කිව්වේ නැහැ.

පැමිණිල්ල:- ගැනුම්කරු කවුද යන්න රහසිගතව තැබීමට විශේෂ හේතුවක් තිබුණද?

සාක්ෂිකරු:- ඔව්, එය ආරක්ෂක හේතූන් මත සිදු කළ දෙයක්. විශාල මුදලක ගනුදෙනුවක් නිසා ආරක්ෂාව ගැන සලකා පිටස්තර කෙනෙක් සමඟ ගනුදෙනු කරන්න විකුණුම්කරු අකමැති වුණා. ගේ විකුණන්නේ පිටස්තර කෙනකුට බව කිව්වොත් ඔහු ගනුදෙනුව නොකරන්න තිබුණා. ඒ නිසා නම හෙළි කළේ නැහැ.

පැමිණිල්ල:- ගැනුම්කරුගේ නම ලෙස ලේඛනවල සඳහන්ව තිබුණේ කාගේ නමක්ද?

සාක්ෂිකරු:- ඔප්පුව අත්සන් කරන අවස්ථාවේදී තමයි එහි දැක්වෙන ගැනුම්කරු නම දැක්කේ.

පැමිණිල්ල:- මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විකුණුම්කරු සමඟ මිල ගණන් කතා කළේ කවුද?

සාක්ෂිකරු:- මිල ගණන් සම්බන්ධයෙන් ඔවුන් දැනුවත්ව සිටියා. මම කළේ ගැනුම්කරු සූදානම් බව පවසා ඔප්පුව අත්සන් කිරීමට දවසක් දාගන්න උදවු කිරීම පමණයි යනුවෙන් පැවැසීය.

මෙම දේපළ ලූෂන් රත්නායකගෙන් තමා මිල දී ගැනීමට අදහස් කරගෙන සිටි බැවින් පත්ඉරු පරීක්ෂා කිරීම සඳහා ගල්කිස්සේ මයුමි ප්‍රනාන්දු නම් නීතිඥවරියකට භාර දුන් බවත් පසුව එම දේපළ යෝෂිත රාජපක්ෂ මිල දී ගැනීමට අදහස් කළ නිසා ඇයට ඔවුන් සම්බන්ධ කළ බව සාක්ෂිකරු කියා සිටියේය.

තමා යෝෂිතගේ ආච්චි දැක නොසිටි බවත් සාක්ෂිකරු පැමිණිල්ල විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

ගනුදෙනුව ගැන යෝෂිත තමා සමඟ සාකච්ඡා කළ බවත් මුදල් බැංකුවට එවන බවට කියා සිටි බවත් පැවැසීය. ගනුදෙනුව සිදුවූ දින තමා දන්නා හඳුනන අයකු ට්‍රැවලින් බෑගයක මුදල් ගෙනා බව සාක්ෂිකරු වැඩිදුරටත් කියා සිටියේය.

පැමිණිල්ල:- මෙම ගනුදෙනුව සඳහා ඔබ කිසියම් මුදලක් හෝ ගාස්තුවක් ලබා ගත්තාද?

සාක්ෂිකරු:- නැහැ, මම කිසිම ගාස්තුවක් ලබා ගත්තේ නැහැ. මම එය කළේ රත්නායක මහතාට කළ උදව්වක් විදිහටයි.

පැමිණිල්ල:- ගැනුම්කරුගේ පාර්ශ්වයෙන් ඔබව විශ්වාස කරලා තමයි මේ ගනුදෙනුවට සම්බන්ධ කරගත්තේ කියලා ඔබ හිතනවාද?

සාක්ෂිකරු:- ඔව්, මම හිතනවා ගැනුම්කරුටත් යම්කිසි විශ්වාසවන්ත කෙනෙක් අවශ්‍ය වුණා කියලා මේ කටයුත්ත කරගන්න යැයි කියා සිටියේය.

මයුමි ප්‍රනාන්දු නම් නීතිඥවරිය විදේශගතව සිටින බැව් පැමිණිල්ල අධිකරණයට දැනුම් දුන්නේය.

ඇය සාක්ෂිකාරියක ලෙස ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බවත් ලේඛනගත සාක්ෂි පිළිගන්නා බව විත්තිය කියා සිටියේය.

අනතුරුව නඩුව ලබන ජූලි 17දාට නියම කළ අධිකරණය පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 12 දෙනකුට එදින අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිතාසි නිකුත් කළේය.

එමෙන්ම පැමිණිල්ලේ 157 වැනි සාක්ෂිකරු ලෙස නම් කර සිටි නුගේගොඩ හිටපු දිසා විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා වෙනුවට දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයා සාක්ෂිකරුවකු ලෙස නම් කරන බව දැනුම් දුන්නේය.

දණ්ඩ නීති සංග්‍රහයේ 113අ සමඟ කියවිය යුතු 2011 අංක 40 දරන පනතින් සංශෝධිත 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 35 වැනි වගන්තිය යටතේ නඩු පැවරීම සිදුකර තිබේ.

රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවීය. විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටියේය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *