Latestක්‍රීඩාදේශීය

ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකය ඉදිකිරීම අරඹයි

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ග්‍රාමීය මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික සහ ජාත්‍යන්තර ජයග්‍රහණ කරා යාම සඳහා දොරගුළු විවර කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම උණුසුම් ජලය සහිත මහජන පිහිනුම් තටාකය සඳහා මුල් ගල් තැබීම පසුගිය (07)දා බණ්ඩාරවෙල ඌව පළාත් ක්‍රීඩා සංකීර්ණ පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් දාහතර කෝටි හතළිස් එක් ලක්ෂ අනූ එක්දහස් දෙසිය පනහක (රු. 144,191,250) ප්‍රතිපාදන වෙන් කර ඇත.

අපේ රටේ තරුණයන් සිරකරුවන් කරනවා වෙනුවට, ඔවුන් රටට වැඩදායක විනයගරුක ක්‍රීඩකයන් බවට පත් කිරීමේ තවත් එක් සුවිශේෂී ව්‍යාපෘතියක් ලෙස මෙය හඳුන්වා දිය හැකි බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම නිල සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමති සුනිල් කුමාර ගමගේ කියා සිටියේ සැමදා කොන්වන ග්‍රාමීය ක්‍රීඩකයාට නවීන පහසුකම් ලබාදීම අප රජයේ මූලික ඉලක්කයක් බවයි. අපේ දරුවන්ගේ අනාගතය ක්‍රීඩාවෙන් හැඩ ගස්වන්නට අප කැපවී සිටිනවා.

මෙම සුවිශේෂී අවස්ථාව සඳහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *