Latestදේශීය

ව්‍යාපාරික සමුළුවක් කිවුවට යෝෂිතට රට යන්න බැහැ

ව්‍යාපාරික සමුළුවකට සහභාගිවීම සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට අදාළව නියෝගයක් නිකුත් කළ නොහැකි යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (04) කියා සිටියේය.

සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති බැවින් ඊට අදාළව නියෝගයක් මහාධිකරණයෙන් ලබා ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

එමෙන්ම නොතිසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ දෙදෙනාට නියම කළේය.

සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම, සැකකරුවන් දෙදෙනා හට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බව පැවසීය.

2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවට විධායක ශිෂ්‍ය භටයකු ලෙස නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ යන අය බඳවාගැනීම සහ එතෙක් පැවැති පටිපාටියෙන් බැහැරව රජයේ මුදල් ගෙවා ඔහු බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගි කරවූ බවට එවකට නාවික හමුදාපතිව සිටි වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව දූෂණය නමැති වරද යටතේ අල්ලස් කොමිසම මේ නඩුව පවරා ඇත.

සැකකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා හට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව දැනගනු ලැබුවේ සමාජ මාධ්‍ය හරහා බව පැවසීය.

සැකකාර යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරුහට ව්‍යාපාරික සමුළුවක් සඳහා විදේශගත වීමට ඇති බැවින් දැනට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා, සැකකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බැවින් ඉල්ලීමට අදාළ නියෝග නිතුත් කළ නොහැකි බවත් අදාළ නියෝග මහාධිකරණයෙන් ලබා ගන්නා ලෙසත් ප්‍රකාශ කළේය.

තවද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුකරය කැඳවා අවසන් බවද මහේස්ත්‍රාත්වරයා පැවසීය.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *