බැංකු ලොක්කෝ උණ්ඩියල් ක්‍රමයට රටින් සල්ලි පන්නපු හැටි හෙළිවෙයි
අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් වෙනත් රටවලට උණ්ඩියල් ක්‍රමයට ප්‍රේෂණය කිරීමේ සිදුවීමකට අදාළ මෙරට ප්‍රධාන පෞද්ගලික බැංකු 4ක කළමනාකරුවන් සිව්දෙනා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර අමෙරිකානු ඩොලර් බිලියනයක පමණ මුදලක් විදේශවලට නීතිවිරෝධී ක්‍රමවේදයට පිටකිරීමේ සිදුවීමක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකට අනුව මෙම සැකකරුවන් අද එම බැංකු තුළදීම අත්අඩංගුවට ගෙන ඇත.
එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදුකෙරුණේ ඉතිහාසයේ පළමු වරට බව පොලීසිය පැවසුවේය.
මෙම නීතිවිරෝධී මුදල් ප්‍රේෂණය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අනුව ජෙෆ්රි මොහොමඩ් නමැති සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව අදාළ සැකකාර බැංකු කළමනාකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම නිලධාරීන් සිව්දෙනාට මෙම ජාවාරම් සිදුකළ බව කියන සැකකරු සතිපතා මුදල් ලබාදීම් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබේ.
ඒ අනුව එක් අයෙකුට සතියකට රුපියල් 30,000, 50,000 සහ ලක්ෂය බැගින් මුදල් ලබාදී ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් බැංකු කළමනාකරුවන් සිව්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක පමණ මුදලකුත් එක් අවස්ථාවක ලබාදී ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට සඳහන් කළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජෙෆ්රි මොහොමඩ් නැමැති, බැංකු මූල්‍ය වංචාවලට අත්අඩංගුවට ගත් තැනැත්තාගේ ප්‍රකාශ මත පදනම්ව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවය.
එම සැකකරු මෙරටට භාණ්ඩ ආනයනය කරන බව පවසමින් සමාගම් 36කට ආසන්න ප්‍රමාණයක් පිහිටුවා ඇති බවත් ඒවාට බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ පෞද්ගලික බැංකු 4ට ගොස් ඇති බවත් නිලධාරියා අධිකරණයට සඳහන් කර ඇත.
එලෙස භාණ්ඩ ආනයනය කරන බව සඳහන් කොට රටින් මුදල් පිටට ගියත් මෙරටට එවැනි භාණ්ඩ ආනයනය කර නොමැති බවත් නිලධාරියා අධිකරණයට සඳහන් කර තිබුණි.
එමෙන්ම අද අත්අඩංගුවට ගැනුණු බැංකු නිලධාරීන් සිව්දෙනා අදාළ සැකකරු පෞද්ගලිකව හමුවී බැංකු කටයුතු සිදුකර දී ඇති බවත් සෑම සිකුරාදාවකම පාහේ එවැනි හමුවීම් සිදුව ඇති බව ඔහු පවසා ඇත.
බැංකු නිලධාරීන් වශයෙන් සමාගමකට අදාළව බැංකු ගිණුම් විවෘත කිරීමේදී අදාළ සමාගම් ලියාපදිංචි ඒවා දැයි පරීක්ෂා කළයුතු වුවත් එලෙස නොකර මෙම නිලධාරීන් අපරාධකාරී මනසකින් ගිණුම් විවෘත කරන්න ආධාර අනුබල දී ඇති බවද ඔහු පෙන්වා දී තිබේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් පෙන්වාදුන්නේ රටින් පිටවූ මුදල් අතරින් රුපියල් මිලියන 6.5ක මුදල් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්ව ඇති බවටත් තොරතුරු වාර්තා වන බවය.
සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බැවින් ඒ අනුව ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලාසිටියේය.
මේ අතර සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් තර්කකර සිටියේ,
දෙවන සැකකරු ආදාළ වාණිජ බැංකුවේ කළමනාකරු වශයෙන් කටයුතු කරන බවත්, තුන්වන සැකකරු වාණිජ බැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරියෙක් වශයෙන් කටයුතු කරන බවත්, සිව්වන සැකකරු හා පස්වන සැකකරුද අදාළ වාණිජ බැංකුවේ කනිෂ්ඨ නිලධාරියෙකු වශයෙන් කටයුකු කරන බවය.
තමා ළඟට පැමිණෙන ඕනෑම ගනුදෙනුකරුවෙකුගෙන් තොරතුරු විමසා අවශ්‍ය තොරතුරු ලබාගැනීම මෙම සැකකරුවන්ගේ වගකීම බවත් අදාළ සමාගම්වලින් භාණ්ඩ ආනයකර කර තිබෙනවාද එම සමාගම් සාංගමික ව්‍යවස්ථා වලට අනුකූල ද යන්න සෙවීම ඉහළ නිලධාරින්ගේ රාජකාරිය බව නීතිඥවරු වැඩිදුරටත් තර්ක කළේය.
මෙවන් ඩොලර් බිලියන ගණනක වංචාවක් කනිෂ්ඨ නිලධාරින් පිට තැබීම යුක්තිය ඉතා දුර බවත් ඔවුන් සඳහන් කර තිබේ.
ඒ අනුව රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුකිරීම මෙවන් කනිෂ්ඨ නිලධාරියෙකුගේ රාජකාරි වපසරියෙන් බැහැර පවතින්නක් බැවින් සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසට ඉල්ලීම් කර ඇත.
කෙසේවෙතත් ඉදිරිපත් වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුව සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කළ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
