ඊශ්‍රායලය නොසලකා හැර හමාස් සහ අමෙරිකා, ඊජිප්තුවේදී සාකච්ඡාවක
ඊශ්‍රායලය විසින් ප්‍රතික්ෂේප කරන ලද ගාසා තීරය සඳහා වූ සාම සැලැස්ම ඉදිරියට ගෙන යාමේ අරමුණින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් මෙන්ම මැදපෙරදිග විශේෂ නියෝජිත ජැරඩ් කුෂ්නර් (Jared Kushner) සහ හමාස් නායකයන් අතර හමුවක් ඊජිප්තුවේදී පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන ගිවිසුම් උල්ලංඝනය කිරීම් පිළිබඳව හමාස් නායකත්වය විසින් කුෂ්නර් දැනුවත් කළ බව පලස්තීන මූලාශ්‍රයක් ඉරිදා අල් ජසීරා පුවත් සේවයට පවසා තිබේ.
ගාසා හී පදිංචිකරුවන් වෙනත් ස්ථානවලට යැවීමේ කිරීමේ කිසිදු සැලැස්මකට අමෙරිකාව එකඟ නොවන බව කුෂ්නර් මෙහිදී ප්‍රකාශ කළ බවද වාර්තා වෙයි.
ඊජීප්තුවේ අල්-අලමේන් නගරයේදී හමාස් සහ කුෂ්නර් අතර මෙම හමුව පැවැත් වූ බවයි සඳහන් වන්නේ.
මෙම සාකච්ඡා සඳහා හමාස් දේශපාලන නායක ඛලීල් අල්-හයියා (Khalil al-Hayya), ඊජිප්තු බුද්ධි අංශ ප්‍රධානී හසන් රෂාඩ් (Hassan Rashad), කටාර් රාජ්‍ය තාන්ත්‍රික අලි අල් තවාඩි (Ali Al Thawadi) සහ තුර්කි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ද ඊට එක්ව සිටි බව අමෙරිකානු ඇක්සියෝස් (Axios) පුවත් සේවය වාර්තා කළේය. ගාසා සාම මණ්ඩලයේ නියෝජිත නිකොලායි ම්ලාඩෙනොෆ් (Nickolay Mladenov) සහ එම මණ්ඩලයේ සාමාජිකයෙකු වන බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් (Tony Blair) ද කුෂ්නර් සමඟ මෙම හමුවට එක්ව සිටියහ.
කුෂ්නර්ගේ මෙම ඊශ්‍රායල සහ ඊජිප්තු සංචාරයන්හි අරමුණ වී ඇත්තේ, ගාසාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඉදිරිපත් කළ නවතම මාර්ග සිතියම පිළිබඳ පවතින මතභේද අවම කරගැනීමයි. එම සැලැස්ම ඊශ්‍රායලයට පිළිගත නොහැකි එකක් බව පසුගිය සතියේ එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබුණි.
ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය සඳහන් කළේ, ගාසා තීරයේ සෙබඩ නැවැත්වීමේ ගිවිසුමේ මධ්‍යස්ථයන් සහ ඇපකරුවන්ගේ නියෝජිතයන් සමඟ පැවැති හමුවේදී ට්‍රම්ප්ගේ සැලැස්මේ දෙවන අදියර සඳහා වන මාර්ග සිතියම තමන් පිළිගන්නා බව අවධාරණය කළ බවයි.
අමෙරිකාව විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති හමාස් සංවිධානය සමඟ සෘජු සබඳතා පැවැත්වීම වසර ගණනාවක් තිස්සේ ප්‍රතික්ෂේප කර තිබුණි.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
