යළි කිසිදිනෙක පක්ෂ දේශපාලනය කරන්නේ නැහැ – ඉමිතියාස් බාකිර් මාකර්
යළි කිසි දින පක්ෂ දේශපාලනය නොකරන බව සමගි ජන බලවේගයේ හිටපු සභාපති, හිටපු ඇමැති ඉමිටියාස් බාකීර් මාකර් මහතා පවසයි.
ගත් තීරණය යළි කිසි දින ආපසු නොහරවන බවද ඒ මහතා කීය.
ඉමිටියාස් බාකීර් මහතා එසේ පැවසුවේ ඒ මහතා විසින් රචිත හෘද සාක්ෂිය හා සුපිරි බලයෙන් පාගා දැමෙන උපන් බිමේ උරුමය ‘පලස්තීනය’ නමැති ග්රන්ථ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙත පිරිනැමීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉවත් වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතා යළි පැමිණ සභාපති ධුරය භාර ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් තමන් ඉන් ඉවත් වූයේ යළි පක්ෂ දේශපාලනය කිරීමේ අදහසින් නොවන බවත් ඒ මහතා පැවසුවේය. අධිකරණය හෝ වෙනත් ඕනෑම ක්ෂේත්රයක් සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේදී සියලු දෙනාගේ අදහස් විමසීම මඟින් මතුවන ගැටලු අවම කරගැනීමට හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.
මේ මොහොතේ රටට අවශ්‍ය ජාතීන් අතර පවත්නා අසමානකම් ආයුධයක්කර ගනිමින් ඒ තුළින් බලයට ඒමට උත්සාහ කරන නායකයන් නොව ජාති, ආගම් හා පක්ෂ භේදයෙන් තොරව සියලු ජාතීන් එකතු කළ හැකි නායකයන් බවද ඒ මහතා පැවසුවේය.
පවතින තත්ත්වය තුළ තමන් යළි කිසි දින දේශපාලනයට නොඒමට තීරණය කර තිබෙන නමුත් රටේ අභිවෘද්ධිය උදෙසා තමන්ගෙන් ඉටුවිය යුතු සේවය ඒ ආකාරයෙන්ම ලබාදෙන බවත් ඒ මහතා කීය.
පක්ෂ, පාට හා පටු දේශපාලන වාසි සඳහා වාද කරමින් නොසිට ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ජනතාවට යහපත් හෙට දවසක් උදාකර දීම පිණිස සියලු දෙනා එකට එක්ව ක්‍රියා කරනු දැකීම තම අපේක්ෂාව යැයිද බාකීර් මාකර් මහතා පැවසුවේය. ජාති, ආගම්, කුල හා පන්ති භේද මුල්කර ගනිමින් දශක පහක් පුරා රණ්ඩු කිරීමේ ප්‍රතිඵල ලෙස ප්රචණ්ඩත්වය සමාජගතව තිබෙන බවත් සියලු දෙනා එකට එකතු වී ගමනක් යා යුතු කාලය දැන් එළඹ තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

