භූමි හායනය නිෂේධනය සහ නියඟයට ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම
භූමි හායනය නිෂේධනය (Land Degradation Neutrality), තිරසාර භූමි කළමනාකරණය සහ නියඟයට ඔරොත්තුදීමේ හැකියාව ජනතා කේන්ද්‍රීය හා සහයෝගී ප්‍රවේශයක් ඔස්සේ ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කාන්තාරකරණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ (UNCCD) 17 වන පාර්ශවකරුවන්ගේ මහා සම්මේලනය (COP17)ට සමගාමීව මොන්ගෝලියාවේ උලාන්බාටාර් නගරයේදී ඊයේ (25) පැවති “ජලය සහ නියඟයට ඔරොත්තුදීමේ හැකියාව” පිළිබඳ ඉහළ පෙළේ අමාත්‍ය සංවාදයට සහභාගී වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජල සුරක්ෂිතතාව සෞඛ්‍ය සම්පන්න භූමි හා ඔරොත්තු දෙන පරිසර පද්ධති මත රඳා පවතින බව පෙන්වා දුන්නේය.
භූමිය, ජලය, දේශගුණය සහ ජෛව විවිධත්වය ඒකාබද්ධව කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද අමාත්‍යවරයා එහිදී අවධානය යොමු කළේය.
සාම්ප්‍රදායික වැව්-ගම්මාන හා එල්ලංගා පද්ධති ප්‍රතිසංස්කරණය, වනාන්තර සංරක්ෂණය සඳහා ක්‍රියාත්මක “වනස්පති” ජාතික වැඩසටහන මෙන්ම තෙත්බිම් ඇතුළු වැදගත් පරිසර පද්ධති සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා විශේෂයෙන් සඳහන් කළේය.
නියඟය අර්බුදයක් බවට පත්වීමට පෙර ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැගීම සඳහා දේශගුණික තොරතුරු, පූර්ව අනතුරු ඇඟවීම්, නව තාක්ෂණය සහ ධාරිතා සංවර්ධනය මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ප්‍රමාණවත් හා පුරෝකථනය කළ හැකි මූල්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් වැඩි ජාත්‍යන්තර සහයෝගීතාවක් අවශ්‍ය බවද ශ්‍රී ලංකාව අවධාරණය කළේය.
එමෙන්ම භූමි ප්‍රතිසංස්කරණය, ජල සුරක්ෂිතතාව සහ නියඟයට ඔරොත්තුදීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා UNCCD කලාපීය හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීමද අමාත්‍යවරයා සිය දේශනයේදී යළි තහවුරු කළේය.
“Restoring Land. Restoring Hope.” යන තේමාව යටතේ UNCCD COP17 සමුළුව 2026 අගෝස්තු 17 සිට 28 දක්වා මොන්ගෝලියාවේ උලාන්බාටාර් නගරයේදී පැවැත්වේ.
කාන්තාරකරණය, භූමි හායනය සහ නියඟය යන අන්තර් සම්බන්ධිත ගෝලීය අභියෝග සඳහා තිරසාර විසඳුම් සෙවීම සහ ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වේ.
හායනයට ලක්වූ භූමි ප්‍රතිස්ථාපනය කිරීම, තිරසාර භූමි කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සහ භූමි හායන නිෂේධ ඉලක්ක (Land Degradation Neutrality – LDN) සාක්ෂාත් කර ගැනීම වේගවත් කිරීම කෙරෙහිද මෙවර සමුළුවේදී විශේෂ අවධානය යොමු කෙරේ.එමෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් වර්ධනය වෙමින් පවතින නියඟ අවදානමට මුහුණදීම සඳහා පූර්ව අනතුරු ඇඟවීම්, පූර්ව සූදානම සහ දිගුකාලීන නියඟ ඔරොත්තුදීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීමද සමුළුවේ ප්රමුඛ කරුණු අතර වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

