යුක්රේන රුසියා යුද්ධය මීළඟ සීත සෘතුව දක්වා ඇදී යනු ඇති
යුක්රේන යුද්ධය මීළඟ සීත සෘතුව දක්වා ඇදී යනු ඇතැයි ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ. ඔහු මේ ප්‍රකාශය සිදු කර ඇත්තේ රුසියාවේදී ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමඟ පැය 3ක සාකච්ඡාවකින් පසු යුක්රේනයට පැමිණි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටිව් විට්කොෆ් සහ බෑණනුවන් වන ජරේඩ් කුෂ්නර් සමඟ පැවති සාකච්ඡාවකින් පසුවය. සෙලෙන්ස්කිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ කීෆ් අගනුවර සාන්ත සොෆියා දේවස්ථානයේදී සහ මරින්ස්කි මාලිගාවේදී පැවති එම සාකච්ඡාවෙන් විශාල ප්‍රගතියක් අත්වී නැති බවය.
මීට වසර 5කට පෙර යුද්ධය ආරම්භ වීමෙන් පසු අමෙරිකානු නියෝජිතයන් පිරිසක් යුක්රේනයට පැමිණි පළමු අවස්ථාව ද මෙය බව වාර්තා වේ. රුසියාවට නැවත සිය රට ආක්‍රමණය කිරීමට ඉඩක් නොලැබෙන පරිදි සාධාරණ හා ස්ථීර සාමයක් තමන්ට අවශ්‍ය බව සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇති අතර, යුද අර්බුදයට විසඳුම් සෙවීමට කීෆ් නුවර පැවති සාකච්ඡා ඉතා වැදගත් වූ බව අමෙරිකානු නියෝජිත ස්ටීව් විට්කොෆ් සඳහන් කර තිබේ.
මාධ්‍යයට විවෘත නොවූ එම සාකච්ඡාවෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා වාර්තාකරුවන් හමුවේ අදහස් පළ කළ බවත්, ඉදිරි සාකච්ඡා සක්‍රියව පවත්වාගෙන යෑමට යුක්රේනය, යුරෝපය හා අමෙරිකාව නියෝජනය කරන නිලධාරින් අතර යළි සාකච්ඡා පැවැත්විමට නියමිත බවත් වාර්තා වේ.
රුසියාව විසින් අත්පත් කරගනු ලැබූ ප්‍රදේශ රුසියානු පාලනයට නතු විය යුතු බවට පුටින් නැවත නැවතත් අවධාරණය කිරීමත්, සිය භූමිය පාවාදීමට සූදානම් නැති බව සෙලෙන්ස්කි ප්‍රකාශ කිරීමත් දෙරට අතර සාම විසඳුමකට ප්‍රධාන බාධාවක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ වෙතත් ඉදිරියේදී අමෙරිකාව, යුරෝපය, යුක්රේනය සහ රුසියාව සම්බන්ධ කරගනිමින් බහුපාර්ශ්වික සාකච්ඡා මාලාවක් ආරම්භ වනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

