ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් රන් බලාපොරොත්තුව අදයි
ජපානයේ නගෝයාහිදී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා ක්‍රිකට් ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අද තරග බිමට පිවිසෙයි. නිශින්හි කොරෝගි ක්‍රීඩා උද්‍යාන පිටියේ පැවැත්වෙන මේ තරගය ආරම්භ වන්නේ මෙරට වේලාවෙන් උදෑසන 10.30ටය.
චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා පිල පිළිවෙළින් අර්ධ අවසන් පූර්ව වටයේ සහ අවසන් පූර්ව වටයේදී මැලේසියාව සහ පාකිස්තානය පරාජය කරමින් අවසන් තරගයට එක් වූ අතර, හර්මන්ප්‍රීත් කෞර් නායකත්වය දෙන ඉන්දීය පිල පිළිවෙළින් ජපානය සහ බංග්ලාදේශය පරාජය කරමින් මේ තරගයට එක් විය.
ශ්‍රී ලංකා සහ ඉන්දීය කාන්තා කණ්ඩායම් දින 9ක් තුළ මහාද්වීපික ශූරතාවක් වෙනුවෙන් එකිනෙකා හමුවන දෙවැනි අවස්ථාව මෙයයි. මේ දෙපිල පසුගිය 13 වැනිදා ආසියානු කුසලාන අවසන් තරගයේදී හමු වූ අතර, එහිදී ඉන්දියාවට ජය හිමි විය.
අද තරගයේදී ශ්‍රී ලංකා පිල ඉන්දීය ආරම්භක පිතිකාරිනියන් වන ස්මිත්‍රී මන්දානා සහ ෂෆාලි වර්මා නැවැත්වීමට සැලසුම් සමඟින් පිටියට පිවිසිය යුතු අතර, ඉන්දීය පිල චමරි අතපත්තු වේලාසනින් දවා ගැනීමට සැලසුම් සකසනු ඇත. අවසන් පූර්ව වටයේ තරගයෙන් පසුව නායිකා චමරි අතපත්තු පැවසුවේ මේ රන් පදක්කම වෙනුවෙන් සිය කණ්ඩායම උපරිම සටනක් දෙන බවයි.
චමරි ප්රමුඛ කණ්ඩායම අද පිටියට පිවිසෙන්නේ තරගාවලි ද්විත්වයක අවසන් තරග දෙකක වාඩුව ගැනීමේ අරමුණෙනි. පසුගිය ආසියානු කුසලාන තරගාවලියේදී 2024 දිනාගත් කුසලානය ශ්‍රී ලංකාවට අහිමි වූ අතර, අවසන් වරට 2023 වසරේ පැවති ආසියානු ක්‍රීඩා උලෙළේදී (2022) ද ශ්‍රී ලංකාවට අනුශූරතාව හිමි විය. ඒ අනුව මේ තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ එකම අභිලාෂය වී තිබේ. ශ්‍රී ලංකා කාන්තා පිල අවසන් වරට ඉන්දියාව පරාජය කර ඇත්තේ 2024 ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගයේදීය. 2022 තරගාවලියේදීත් බංග්ලාදේශය පරාජය කරමින් ඉන්දියාවත්, පාකිස්තානය පරාජය කරමින් ශ්‍රී ලංකාවත් අවසන් තරගයට එක් විය. එහිදී ඉන්දීය පිල ලකුණු 19ක ජයක් හිමිකරගත් අතර, පාකිස්තානය සහ බංග්ලාදේශය අතර තරගයෙන් ජයගත් බංග්ලාදේශයට ලෝකඩ පදක්කම හිමි විය.
අවසන් පූර්ව වටයෙන් පරාජය වූ පාකිස්තානය සහ බංග්ලාදේශය මෙවර තරගාවලියේදීත් ලෝකඩ පදක්කම වෙනුවෙන් තරග වදින අතර, එම තරගය මෙරට වේලාවෙන් අලුයම 5.30ට ආරම්භ වීමට නියමිතය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

