බලයක් නැති මතයක් හෙවත් එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය
(ෆවුස් මොහොමඩ්)
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට (UN Charter) අනුව මහා මණ්ඩලයේ සම්මත වන යෝජනා නීතිමය වශයෙන් ක්‍රියාත්මක කිරීමට රටවල් අතර කිසිදු බැඳීමක් නැත. එවැනි යෝජනා සම්මත වීම් සලකනු ලබන්නේ, ගෝලීය මහජන මතය සහ ජාත්‍යන්තර ප්‍රජාවේ බහුතර කැමැත්ත නිරූපණය කෙරෙන දේශපාලනික බලපෑම් ලෙස පමණි. මහා මණ්ඩලය තුළ නිරන්තරයෙන්ම සාකච්ඡාවට ලක්වන ඊශ්‍රායල- පලස්තීන අර්බුදයට මෙතෙක් ස්ථීර විසඳුමක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමට හේතුව ද එය වේ.
මේ වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය (UNGA) පෙර නොවූ විරූ ආකාරයේ ජාත්‍යන්තර අවධානයට ලක්වී තිබේ. ඉරාන යුද අර්බුද, මැදපෙරදිග සැපයුම් මාර්ග අවහිරතාව හේතුවන් උද්ගත වූ බලශක්ති අර්බුදය හා කෘත්‍රිම බුද්ධිය වේගයෙන් සංවර්ධන වීම වැනි වර්තමානයේ ගෝලීය වශයෙන් බලපෑමට ලක්වූ තත්ත්වයන් මෙහිදී වැඩි අවධානයට ලක්වනු ඇත. ඊට අමතරව පලස්තීන අර්බුදය, යුක්රේන යුද්ධය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ද අදහස් සහ යෝජනා ඉදිරිපත් වනු ඇත.
මේ වන විට අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ වූ 81 වැනි සැසියේ ප්‍රධානතම ඉසව්ව වන රාජ්‍ය නායකයන්ගේ දේශන සහ විවාදය ඇරඹී තිබේ. අමෙරිකාව වැනි රටවල් ඉරානයට, කියුබාවට සහ රුසියාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක, බලවතුන්ගේ මතවාදී ගැටුම් සහ ජාත්‍යන්තර නීති උල්ලංඝනය වීම් හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට එල්ල වී ඇති බලපෑම් මෙහිදී යම්කිසි ආකාරයේ පරීක්ෂණයකට ද භාජන වනු ඇත.
තාක්ෂණයේ සහ කෘත්‍රිම බුද්ධියේ සංවර්ධනය පාලනය කිරීමේ අවශ්‍යතාවක් ද මතු වී ඇති බැවින් යුද ගැටුම්වලට අමතරව ගෝලීය ප්‍රජාව මුහුණ පා සිටින අවදානම කෙරෙහි ද මෙහිදී සාකච්ඡාවකට ලක්වනු ඇත. ඒ අනුව මෙවර සැසිය පැවැත්වෙන්නේ ගෝලීය වශයෙන් දේශපාලනික, ආර්ථික සහ පාරිසරිකව පරිවර්තන රැසක් සිදුවෙමින් පවතින පසුබිමකදීය. එහෙත් මහා මණ්ඩලය තුළ සම්මත වන යෝජනා සඳහා රටවලට නීතිමය බැඳීමක් නොමැති අතර, ලෝක බලවතුන්ගේ කැපවීම මත මිස එහිදී ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඉතා සීමිතය.
සභාපති ධුරය බංග්ලාදේශයට
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයා පත්වන්නේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රමවේදයක් සහ මහා මණ්ඩලයේ ඡන්ද විමසීමකිනි. එය සිදුවන්නේ කලාප නියෝජන ක්‍රමවේදයකට අනුවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගනු ලැබූ ප්‍රධාන භූගෝලීය කලාප 5 අතුරින් නියමිත චක්‍රීය පිළිවෙළකටය.
ඒ අනුව ආසියා – පැසිෆික්, අප්‍රිකානු, ලතින් අමෙරිකානු හා කැරිබියන්, නැඟෙනහිර යුරෝපීය හා බටහිර යුරෝපීය වශයෙන් එය බෙදා වෙන් කර ඇති අතර, ඒ අනුව මෙවර සභාපති ධුරය හිමිවී ඇත්තේ ආසියා – පැසිෆික් කලාපයට අයත් බංග්ලාදේශයටය. කලාපීය එකඟතාව හා නාමයෝජනා අදාළ වසරේ සභාපතිත්වය හිමි කලාපයට අයත් සාමාජික රටවල් එක්ව සුදුසු අපේක්ෂකයකු හෝ කිහිපදෙනකු තෝරා ගන්නා අතර, නව සැසිය ආරම්භයට මාස 3කට පෙර මහා මණ්ඩලයේ සියලු සාමාජික රටවල ඡන්ද විමසීමකින් සභාපතිවරයා තෝරා පත් කර ගැනේ. එසේ තෝරා ගන්නා සභාපතිවරයාගේ නිල ධුර කාලය වසරක කාලයකට සීමාවනු ඇත. එම තෝරාගැනීම සිදුවන්නේ සාමාන්‍යයෙන් එක් සැසියක් සඳහා පමණි. එසේ තෝරාගන්නා සභාපතිවරයා සිය රටේ හෝ කලාපයේ නියෝජනයක් ලෙස නොව, සමස්ත මහා මණ්ඩලයේම අපක්ෂපාති නායකයා ලෙස කටයුතු කළ යුතුව ඇත.
පසුගිය 80 වැනි සැසිවාරයේදී සභාපති ධුරය හිමිවූයේ ලතින් අමෙරිකානු හා කැරිබියන් කලාපය තුළින් නියෝජනය වූ කැමරූන් දේශයේ හිටපු අගමැතිවරයකු හා රාජ්යතාන්ත්රිකයකු වූ ෆිලෙමොන් යැංග්ට ය. මෙවර සභාපති ධුරයට පත්වූයේ බංග්ලාදේශයේ විදේශ ඇමැති කලීලුර් රහ්මාන් ය. වැදගත්ම කාරණාව වන්නේ, ආරක්ෂක කවුන්සිලයේ සම්ප්‍රදායට අනුව එහි ස්ථීර සාමාජිකයන් වන අමෙරිකාව, රුසියාව, චීනය, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය රටවලින් කිසිදු අවස්ථාවක මහා මණ්ඩලයේ සභාපති ධුරයට අපේක්ෂකයකු ඉදිරිපත් නොවීමය.
සාකච්ඡාවට ලක්වන ගැටලු
පසුගිය 22 වැනිදා ආරම්භ වූ විවාදයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 193ටම කිසිදු භේදයකින් තොරව සැසිය ඇමතීමට අවස්ථාව හිමිවී ඇති අතර, එහිදී විවාදයට ලක් වන්නේ ගෝලීය අර්බුද සම්බන්ධව රාජ්‍ය නායකයන්ගේ ප්රතිපත්තීන් සහ අදහස් දැක්වීම සම්බන්ධයෙනි. මෙවර සැසිය පැවත්වෙන්නේ ‘විශ්වාසය නැවත ගොඩනැඟීම, පරිවර්තනය කළමනාකරණය කිරීම – සැමට ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්’ (Restoring trust, managing transformation: A United Nations that delivers for all) තේමාව යටතේය. මෙවැනි තේමාවක් මහා මණ්ඩලය සැසිවාරයට භාවිත කිරීමට හේතුවී ඇත්තේ වර්තමානයේ ගෝලීය වශයෙන් මතු වී ඇති විවිධ අර්බුද සැලකිල්ලට ගනිමින් බව පෙනේ.
සැබැවින්ම මේ වන විට ලෝක බලවතුන් අතර පවතින ගැටුම් සහ කලාපීය නොසන්සුන්තාව හමුවේ බහුපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රිකභාවය කෙරෙහි ඇති විශ්වාසය බරපතළ ලෙස බිඳ වැටී තිබේ. අනිත් අතට ආරක්ෂක කවුන්සිලය ඇතුළු මහා මණ්ඩල තීරණ ගැනීමේ ක්‍රියාවලියේ අඩාළ වීම් සහ දුර්වලතා සම්බන්ධව සැලකිය යුතු මතවාදයක් පැතිරෙමින් තිබේ. එබැවින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විනිවිදභාවයෙන් යුතු ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව මතුවී ඇත්තේ කාලයක සිටය. කුඩා රටවල් කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන උදාසීනභාවය ද ගැටලුසහගත බවට තොරතුරු පළ වී තිබේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් මුහුදු මට්ටම ඉහළ යෑම වැනි තත්ත්වයන් හමුවේ කුඩා දූපත් රාජ්‍යයන් හා වෙරළබඩ කලාප මුහුණ දෙන ගැටලු සහ තර්ජනවලට විසඳුම් සෙවීමේ කඩිනම් අවශ්‍යතාවක් ද මේ වන විට මතු වී තිබේ. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් මුහුණපෑ ‘දිට්වා’ සුළි කුණාටුවත්, නේපාලයේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් එවැනි අවශ්‍යතාවක් තදින්ම දැනී තිබේ. එබැවින් මෙවර සැසියේදී රාජ්‍ය නායක මට්ටමේ විශේෂ සැසිවාර සංවිධාන කර තිබේ.
එමෙන්ම සියලු රටවලට සාධාරණය ඉටුවන ආකාරයේ බලශක්ති පරිවර්තනයක් සිදු කිරීම, කාබන් විමෝචනය අවම කිරීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවලට මූල්‍ය හා තාක්ෂණික සහය ලබාදීම ද කතාබහට ලක්වනු ඇත. වසර 1986 දී ඇතිකරගත් සංවර්ධනය සඳහා වන අයිතිය පිළිබඳ ප්රකාශනයේ (Declaration on the Right to Development) 40 වැනි සංවත්සරය මේ වසරේදී සැමරීමත් සමඟ ගෝලීය ආර්ථිකයේ අසමානතාව අවම කිරීම කෙරෙහිද ලෝක නායකයන්ගේ අවධානයට ලක්වී තිබේ. 2023දී තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟාවීමේ ප්‍රගතිය මන්දගාමී තත්ත්වයක පවතින අතර, සංවර්ධනය වෙමින් පවතින රටවල ණය බර ලිහිල් කිරීම සහ ගෝලීය මූල්‍ය පද්ධතියේ වෙනස්කම් සිදු කිරීම සම්බන්ධයෙන් ද යෝජනා පළවනු ඇත. අනාගත හදිසි සෞඛ්‍ය අවස්ථාවන් සහ වසංගත සඳහා ගෝලීය වශයෙන් සාධාරණ ලෙස මුහුණ දීමේ ක්‍රමවේදයන් පිළිබඳ ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සම්මුතීන්වලට මෙවර සැසියේදී වැඩි අවධානයක් යොමු වී තිබේ.
යෝජනා සම්මත වීම
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියට (UN Charter) අනුව මහා මණ්ඩලයේ සම්මත වන යෝජනා නීතිමය වශයෙන් ක්‍රියාත්මක කිරීමට රටවල් අතර කිසිදු බැඳීමක් නැත. එවැනි යෝජනා සම්මත වීම් සලකනු ලබන්නේ, ගෝලීය මහජන මතය සහ ජාත්‍යන්තර ප්‍රජාවේ බහුතර කැමැත්ත නිරූපණය කෙරෙන දේශපාලනික බලපෑම් ලෙස පමණි. මහා මණ්ඩලය තුළ නිරන්තරයෙන්ම සාකච්ඡාවට ලක්වන ඊශ්‍රායල- පලස්තීන අර්බුදයට මෙතෙක් ස්ථීර විසඳුමක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමට හේතුව ද එය වේ.
ඊශ්‍රායලයට සහ පලස්තීනයට වෙනම රාජ්‍යයන් ස්ථාපිත කිරීමේ ද්විරාජ්‍ය සංකල්පය හොඳම නිදසුනකි. එම සංකල්පය දිගින් දිගටම මහා මණ්ඩල සැසියේදී සම්මත වන යෝජනාවකි. එහෙත් අර්බුදය තවමත් ආරම්භක අදියරෙන් ඉදිරියට ගොස් නැත. ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ පලස්තීනයේ ස්වාධීනත්වය සම්බන්ධව ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වන යෝජනා ඊශ්‍රායල හිතවාදී අමෙරිකාව විසින් නිෂේද බලය භාවිත කිරීමෙන් ප්‍රතික්ෂේප වීමය. එය කෙසේ වුවත් එම යෝජනා සම්මත වන්නේ එක්සත් ජාතීන්ගේ රටවල් 193ම නියෝජනය වන පරිදි බහුතර ඡන්ද විමසුමකිනි. මෙහිදී කිසිදු රටකට නිෂේද බලය භාවිත කළ නොහැකි වුවත්, ඉන් ලැබෙන ප්‍රගතියක් ද පෙනෙන්නට නැත.
එහෙත් හමුදාමය මැදිහත්වීම් සිදු කිරීමට, සම්බාධක පැනවීමට හෝ රටවලට බලපෑම් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට නීතිමය බලයක් නැත. එබැවින් මහා මණ්ඩලයේ සම්මත වූ යෝජනා නොසලකා හැර කටයුතු කරන රටවල් ද අපමණය. ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වන ඊශ්‍රායලයට එරෙහි යෝජනා අමෙරිකාවේ නිෂේද බලයෙන් ප්‍රතික්ෂේප වෙද්දී, ඉරානයට එරෙහි යෝජනා රුසියාවේ සහ චීනයේ නිෂේද බලයෙන් ඉවතට විසිවෙයි. එහෙත් එවැනි යෝජනා ආරක්ෂක කවුන්සිලයේදී අක්‍රිය වන විට හදිසි විශේෂ සැසියක් කැඳවා ජාත්‍යන්තර සාමය උදෙසා සාම සාධක බළකායක් යෙදවීමට හෝ සාමූහික ක්‍රියාමාර්ගවලට නිර්දේශ කිරීමට හෝ හැකියාවක් පවතී. එහෙත් ඊට ද අදාළ පාර්ශ්වකාර රටවල එකඟතාව ලැබිය යුතුය. මෙවැනි තත්ත්වයන් මත මහා මණ්ඩලවලදී ගනු ලබන තීන්දු තීරණවලට හෝ සම්මත වන යෝජනාවලට වටිනාකමක් හෝ වැදගත්කමක් ලැබී ඇතැයි නොපෙනේ.
ඒ අනුව 81 වැනි මහා මණ්ඩල සැසියේ සමස්ත ප්‍රගතිය පිළිබඳ අනාවැකි පළ කිරීම අසීරුය. එය මානුෂීය හා රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් යම් සංවාදයක් ගොඩ නැඟීමට වේදිකාවක් බවට පත්වුවද, භූමියේ පවතින ගැටුම් විසඳීම සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අතින් පෙන්නුම් කරනු ඇත්තේ ඉතා සීමිත ප්‍රගතියක් පමණි.
එවැනි තත්ත්වයක් තුළ ගෝලීය වශයෙන් අතිශය වැදගත් මෙවැනි සංවිධානයක විශ්වසනීයත්වය තවදුරටත් බිඳ වැටීම වැළැක්විය නොහැකිය. ගෝලීය ගැටලු හඳුනා ගැනීම සහ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීම හැරුණු විට දිළිඳු රටවලට ලෝකය හමුවේ සිය අදහස් පළ කිරීමට අවස්ථාවක් ලැබීම අතින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ප්‍රගතියක් අත්කර ගැනීම සැබෑය.
එහෙත් ගෝලීය වශයෙන් මුහුණපා සිටින යුද ගැටුම් නතර කිරීමට හෝ අවසන් කිරීම හෝ යුද්ධයට එරෙහි යෝජනා බලාත්මක කිරීම අතින් නම් මහා මණ්ඩල සැසි ප්‍රකාශන හා අදහස් හුවමාරු කරගැනීමට පමණක් සීමාවූවක් බව පෙනේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

