Latestවිදේශීය

ලොවට අවශ්‍ය යුද්ධය නොව සාමයයි – චීනය අවධාරනය කරයි

භූ දේශපාලනික ගැටුම්, ඉහළ යමින් පවතින සංවර්ධන පරතරය සහ උද්ගත වී ඇති ගෝලීය අභියෝග හමුවේ බහුපාර්ශ්විකත්වය පෙර නොවූ විරූ අයුරින් අත්‍යවශ්‍ය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිය අමතමින් චීන උප ජනාධිපති හන් ෂෙංග් ප්‍රකාශ කර තිබේ. ලොවට අවශ්‍ය වන්නේ යුද්ධය නොව සාමය බවත්, දෙවැනි ලෝක මහා යුද්ධයෙන් පසු ජාත්‍යන්තර නීතිය පදනම්ව ගොඩ නැඟුණු ගෝලීය පිළිවෙත් ආරක්ෂා කරන ලෙසත් ඔහු සියලු රටවලින් ඉල්ලීමක් ද කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය උල්ලංඝනය කරමින් සහ ආරක්ෂක කවුන්සිලයේ අනුමැතියකින් තොරව සිදු කරන ඒකපාර්ශ්වික සන්නද්ධ ක්‍රියාමාර්ග වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳාගත යුතු බවත් චීන උපජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ගෝලීය සාමය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් බලවත් රටවලට විශේෂ වගකීමක් හිමිවන අතර, නීතිවලට අනුකූල වීම, නීතියේ ආධිපත්‍යය සුරැකීම හා නිවැරැදි ක්‍රියාමාර්ග ගැනීම සඳහා බලවත් රටවල් පෙරමුණ ගත යුතු බවට ද ඔහු අවධාරණය කර තිබේ. මැදපෙරදිග කලාපයේ තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් චීන උප ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ගල්ෆ් කලාපය ඇතුළු කලාපීය රාජ්‍යයන්හි ස්වෛරීභාවයට ගරු කළ යුතු බවය. එමෙන්ම පලස්තීනුවන් විසින් පලස්තීනය පාලනය කිරීමේ මූලධර්මයට අනුකූලව ගාසා තීරයේ නැවත ගොඩනැඟීමේ කටයුතු සිදුවිය යුතු බවට ද ඔහු ඉල්ලීමක් කර තිබේ. මිට අමතරව කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක හා තහනම් කිරීම් වහාම අවසන් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ.

@දිනමිණ 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *