ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගන්න
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 01 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට ඊයේ (29) නියෝග කළේය. එහිදී උන් වහන්සේ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ අතර එය බලාත්මක කරන ලෙස ද පොලිස්පතිවරයාට නියෝග කළේය.
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව, අභියාචනාධිකරණය නියම කළ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක විය යුතු බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් කළ ඉල්ලීමක් අනුව නීතිපතිවරයා ගොනු කළ මෝසමක් ඊයේ (29) දිනයේදී අභියාචනාධිකරණය ඉදිරියේ විභාගයට ගනු ලැබීය.
එම මෝසම මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුණානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නඩුව උදෑසන 10ට විභාගයට ගත් මොහොතේ ඉදිරිපත් වූ ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා වන ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා, ඥානසාර හිමියන් සැත්කමක් සිදුකොට විහාරයේ විවේක සුවයෙන් පසුවන බවත් මේ මොහොතේ ඒ පිළිබඳ වෛද්‍ය වාර්තා නොමැති බවත් අධිකරණයට ප්‍රකාශ කළේය.
ඒ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එය පිළිගත නොහැකි බවත්, ඥානසාර හිමියන්ට වරෙන්තු නිකුත් කරන ලෙසත්ය. ඒ අනුව නඩුව කල් තැබූ අතර නැවත පස්වරු 12.30ට විභාගයට ගත්තේය.
එහිදී ඥානසාර හිමියන් වෛද්‍ය සහතික ඉදිරිපත් කර නොමැති බැවින් රෝගී තත්ත්වය ගැන නිදහසට කරුණු පිළිගත නොහැකි බවත්, උන් වහන්සේ අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 01 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අභියාචනාධිකරණය නියෝග කළේය. නඩුව නැවත පළමුවැනිදා විභාගයට ගැනීමට නියමිතය.
නඩුව උදෑසන කැඳවූ අවස්ථාවේදී ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිර දඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සඳහන් කළේ සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් විවේක ගන්නා බවත්, මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට දිනයක් ලබාදෙන ලෙසත්ය.
එහෙත් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා සඳහන් කළේ මෙය අපරාධ නඩුවක් බවයි. විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙස ද රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පිත්තාශයේ කළ සැත්කමක් හේතුවෙන් උසාවියට පැමිණීමට අපහසු බව ඒ අවස්ථාවේදී නීතිඥවරයා දන්වා සිටියේය.
ඉන් අනතුරුව ඥානසාර හිමියන් අධිකරණයට පැමිණෙන තෙක් නඩුව කල් තැබීමට නියෝග කළ අතර නීතිපති දෙපාර්තමේන්තුව ද ඊට එකඟතාව පළ කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

