Latestවිදේශීය

ඉම්රාන් ඛාන් පාගමනට බාධා කරමින් පාකිස්තානයේ අගනුවර බහලුම් ගොඩ ගසයි

බන්ධනාගාරගත කර සිටින හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර දක්වා පැවැත්වීමට නියමිත විරෝධතා පා ගමන වැළැක්වීම සඳහා සියලු ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග හරහා නැව්ගත කිරීමේ බහලුම් (කන්ටේනර්) ගොඩ ගසා ඇතැයි එංගලන්තයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වාර්තා කළේය.

පසුගිය සැප්තැම්බර් මස 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පා ගමන ඉලක්ක කරමින් පාකිස්තානයේ ආරක්ෂක අංශ මඟින් එම බහලුම් යොදා මාර්ග අවහිර කර ඇති අතර, පා ගමන මේ මස 4 වැනිදා දක්වා අත්හිටුවූ බව ඉම්රාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය නිවේදනය කිරීම හේතුවෙන් මාර්ග බාධක තවදුරටත් පවතින බව ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. පාකිස්තානයේ අගනුවර විරෝධතාවක් පැවැත්වීමට නියමිත සියලු අවස්ථාවලදී එවැනි අවහිරතා සුපුරුදු දසුනක් වුවත්, මෙවර ඉම්රාන්ගේ විරෝධතා පා ගමන ඉලක්ක කරමින් ගමනාගමනය සීමා කිරීමට සහ අගනුවර සංවේදී කලාපවලට විරෝධතාකරුවන්ගේ පැමිණීම වැළැක්වීමට අතිවිශාල බහලුම් තොගයක් ගොඩ ගසා ඇතැයි වාර්තා වේ.

මේ තත්ත්වය මත ඉස්ලාමාබාද් අගනුවර මෙන්ම රාවල්පින්ඩි නගරය හරහා ගමන් කිරීමේදී ජනතාවට විකල්ප මාර්ග භාවිත කිරීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ. අගනුවර රජයේ කාර්යාල හා විදේශීය තානාපති කාර්යාල පිහිටි ‘රතු කලාප‘ ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශ හා පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා ඇති මාර්ගය හරහා එම අවහිරතා බහුලව සිදුවී ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය සඳහන් කළේය. ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා රජයට බල කරන එම විරෝධතා පා ගමන 4 වැනිදා දක්වා කල් දැමුවද, ඒ අතර කාලසීමාවේ ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි බවට තොරතුරු වාර්තා වී තිබේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *