සිවරාසා අනෝජන් නිදහස් කර ගැනීමට රාජ්‍ය මැදිහත්වීම ඉල්ලා මහනාහිමිවරුන්ගෙන් ජනපතිට සංදේශයක්
සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් මහතා නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සහ අමරපුර මහා නිකායේ මහනාහිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සංදේශයක් භාර දී තිබේ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් සහ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නාහිමියන් විසින් අදාළ සංදේශය ඉදිරිපත් කර ඇත.
එම සංදේශය දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් පසුගිය 30 වැනිදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා වෙත භාර දී තිබේ.
මේ අතර, හින්දු ප්‍රජාව වෙනුවෙන් හින්දු පූජක සංගමයේ සභාපති සහ සමස්ත ලංකා හින්දු සංස්කෘතික සභාවේ සභාපති ආචාර්ය සිවාශ්‍රී කේ.වී.කේ. වෛතීස්වර කුරුක්කල්තුමා විසින් ද සංදේශයක් භාර දී ඇත.
මෙම අවස්ථාවට පූජ්‍ය පාගොඩ ජන්තවංශ හිමි, පූජ්‍ය වේපතයිර ධම්මසිරි හිමි, හින්දු පූජක සංගමයේ සාමාජික සිවශ්‍රී කුගතාස කුරුක්කල්තුමා, නීතිඥ තනුජා නවරත්න සහ සමාජ ක්‍රියාකාරී ආර්.ඒ. අමිල සංජීව යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

