Latestදේශීය

ශෂින්ද්‍රගේ ඉල්ලීම ඉවතට – නඩුව විභාගයට

පසුගිය අරගල සමයේදී විනාශ වූ දේපළක් බව දක්වමින් මහවැලි අධිකාරියට අයත් ඉඩමක තිබූ ගොඩනැඟිල්ලකට අයුතු ලෙස රුපියල් 88,50,000ක වන්දි මුදලක් ලබාගැනීමේ දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව ඇති නඩුවේ අධිචෝදනා සම්බන්ධයෙන් විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතා කොළඹ මහාධිකරණය ඊයේ (08) ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ගොනුකර ඇති අධිචෝදනා මත නඩුකරය ඉදිරියට පවත්වාගෙන යෑමට නියම කළ අධිකරණය සාක්ෂි විභාගය ආරම්භ කළේය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා ඉදිරිපත් කරමින් කියා සිටියේ, අල්ලස් කොමිසම ගොනුකර ඇති අධිචෝදනා පත්‍රයේ 2 වැනි චෝදනාව වන රජයට පාඩු කිරීම සහ 5 වැනි චෝදනාව වන අයුතු ලාභයක් සැලසීම එකම ක්‍රියාවකින් සිදුවූවක් බවයි.

දූෂණ විරෝධි පනතේ 101 වැනි වගන්තිය මෙන්ම අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ 173, 174 හා 175 වැනි වගන්තිවලට අනුව එකම ක්‍රියාවකට දෙයාකාරයකට වෙන් වෙන්ව නඩු පැවරිය නොහැකි බැවින් අධිචෝදනා පත්‍රය නිෂ්ප්‍රභ කර විත්තිකරුවන් නිදහස් කරන ලෙස විත්තිය ඉල්ලා සිටියේය.

එම මූලික විරෝධතාවල සඳහන් චෝදනා දෙක එකිනෙකට වෙනස් සහ අනන්‍ය චෝදනා බවට පැමිණිල්ල දැක්වූ කරුණු සලකා බලමින් මූලික විරෝධතා ප්‍රතික්ෂේප කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නියෝග කළේය. එලෙස මූලික විරෝධතා ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව, විත්තිකරුවන් තමන් වෙත එල්ල කර තිබූ චෝදනාවලට නිවැරදිකරුවන් බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඉන්පසුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්, නඩු විභාගය ආරම්භ කිරීමට ප්‍රථම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 199 වගන්තිය යටතේ ආරම්භක දේශනය ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා සිටියාය.

අධිකරණයේ අවසරය පරිදි සිය ආරම්භක දේශනය ඉදිරිපත් කළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය මෙසේ පැවසුවාය.

“ස්වාමීනි! මේ නඩුකරයට පාදක වන්නේ 2022 වසරේ මැයි 09 වැනිදා අරගලකරුවන් විසින් ගිනි තැබූ දේපළකට අදාළව වන්දි ගෙවීම සම්බන්ධවයි. මෙවැනි වන්දි ගෙවීම් කිරීම සඳහා නිශ්චිත යන්ත්‍රණයක් තිබෙනවා. ඒ වගේම අදාළ වන්දි ගෙවීම් සිදු කරන ව්‍යවස්ථාපිත ආයතනයක් තිබෙනවා. 2018 අංක 34 දරන හානි පූරණ කාර්යාල පනත යටතේ රජය විසින් වන්දි ගෙවීමට මේ කාර්යාලය පිහිටුවා තිබෙනවා. එම ආයතනය මඟින් වන්දි ගෙවීමේදී සිදුවූ දූෂණයක් සම්බන්ධයෙන් මේ නඩුව ඉදිරිපත් කරනවා” යැයි පැවසීය.

ලබන නොවැම්බර් 2දා නඩුව යළි කැඳවයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *