රනිල් මෛත්‍රී සැඟවූ අපරාධ චෝදනා ලැයිස්තුව බිමල් හෙළි කරයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන විසින් සොයා ගන්නා සාක්ෂි මත චූදිතයන්ට එරෙහිව පවරා තිබෙන නඩු රනිල් මෛත්‍රී යුගයේ පැවරූ ඒවා බව බිමල් රත්නායක අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.
නමුත්, එම නඩු කටයුතු දේශපාලන බලය යොදවා යටපත් කර තිබිණි. මේ වනවිට එසේ යට ගසා තිබූ නඩු කටයුතු වේගවත් කර තිබේ. ඒ පිළිබඳව අමාත්‍ය බිමල් රත්නායක හෙළි කළ නම් ලැයිස්තුව පහත දැක්වේ.
අද පළිගැනීම් කියන නඩු කාලයේ පවරා යට ගැසූ ඒවා | Bimal Rathnayake | 2026.10.08
වංචා දූෂණවලට නඩු වැටුණු 50කගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට
දිනමිණ | 2026 ඔක්තෝබර් 09
රාජ්‍ය දේපොළ අවභාවිත කිරීම, අල්ලස ඇතුළු වංචා දූෂණවලට 2015 සිට මේ දක්වා සම්බන්ධ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් ඇතුළු පුද්ගලයන් 50 දෙනකු සම්බන්ධයෙන් තොරතුරු සභානායක ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) සභාගත කළේය.
දේශපාලනඥයන් 20කට අධික පිරිසක්, දේශපාලන පවුල්වලට සම්බන්ධ පිරිස් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පුද්ගලයන් මේ අතරට අයත්ය. එම 50 දෙනාට අයත් නඩු තොරතුරුද ඇමැතිවරයා මෙහිදී සභාගත කළේය.
වැරදි කළ අයට දඩුවම් හිමිවීම පළිගැනීමක් යැයි හුවා දැක්වීමට උත්සාහ දරන බවත් පළිගැනීම් නම් මේ අයට එරෙහි නඩු අලුත් විය යුතු බවත් කී ඇමැතිවරයා මේ සියලු දෙනාගේ නඩු ඩීල් මඟින් කල් දමා ගත් නඩු බවද පැවසීය. ඇමැතිවරයා මේ අදහස් පළ කළේ දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමිනි.
ඇමැතිවරයා එහිදී මෙසේද පැවසීය.
“ජොන්ස්ටන් ප්‍රනාන්දු – සතොස සේවකයන් 150ක් නිල රාජකාරියෙන් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට රුපියල් මිලියන 40ක් පාඩු කිරීම, නඩුව ගොනු කළේ 2016 මැයි 12 වැනිදා. හිටපු ඇමැති විමල් වීරවංශ – චෝදනාව 2010-15 කාලය තුළ නීත්‍යනුකූල ආදායම ඉක්මවා යමින් රුපියල් මිලියන 75.4ක නොනිසි වත්කම් උපයා ගැනීම පිළිබඳවයි, නඩුව දැමූ දිනය 2017 ඔක්තෝබර් 3 වැනිදා. මහින්දානන්ද අලුත්ගමගේ – කැරම් බෝඩ් 14ක ප්‍රශ්නය, නඩුව ගොනු කළ දිනය වන්නේ 2016 අගෝස්තු 18 වැනිදා. බැසිල් රාජපක්ෂ – චෝදනාව වන්නේ දිවිනැඟුම අරමුදලින් රුපියල් මිලියන 2,991ක් වැය කර ජනාධිපතිවරණ සමයේ ලෝහ තහඩු, GI ෂීට් බෙදා හැරීම, නඩුව ගොනු කළ දිනය වන්නේ 2015 අප්‍රේල් 15 වැනිදා.
රාජිත සේනාරත්න – මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීම නිසා රජයට මූල්‍ය පාඩුවක් කිරීම, නඩුව ගොනු කළ දිනය 2020 ඔක්තෝබර් 29 වැනිදා. රවි කරුණානායක – චෝදනාව වන්නේ 2016 මහ බැංකු වෙන්දේසියේදී බිලියන 51.9ක් පාඩු කිරීම, නඩුව ගොනු කළ දිනය 2021 ජූලි 06 වැනිදා. ප්‍රසන්න රණතුංග – මීගමුව, තලාහේන ඉඩමකට බස් රථ නැවතුම්පොළක් ලබා දීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන 64ක් ඉල්ලා තර්ජනය කිරීම, නඩුව ගොනු කළ දිනය 2015 ජූලි 20 වැනිදා. ප්‍රියංකර ජයරත්න හිටපු ඇමැති – සිවිල් ගුවන් සේවා අධිකාරියේ අරමුදලින් ලක්ෂ 91ක් අවභාවිත කිරීම සහ නීතිවිරෝධි පත්වීම් ලබාදීම, නඩුව ගොනු කළ දිනය 2017 ඔක්තෝබර් 27 වැනිදා. ඒ.එච්.එම්. ෆවුසි, චෝදනාව – ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට ලැබුණු ලෑන්ඩ් කෲසර් රථයක් පෞද්ගලික පාවිච්චියට ගැනීම, නඩුව ගොනු කළ දිනය 2016 සැප්තැම්බර් 09 වැනිදා. සරණ ගුණවර්ධන – සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරද්දී රජයේ මුදල් අවභාවිත කරමින් නීතිවිරෝධි ලෙස වාහන කුලියට ගැනීම, නඩුව ගොනු කළ දිනය 2016 මාර්තු 15 වැනිදා. ඊට පස්සේ රාජපක්ෂ පවුල – නාමල් රාජපක්ෂ, චෝදනා ගොඩක්, ඉන්දියන් ක්‍රිෂ් එක – නඩුව ගොනු කළ දිනය 2016 ජූලි 01 වැනිදා. යෝෂිත රාජපක්ෂ – CSN නාළිකාවට අයථා ලෙස මිලියන 234ක් උපයා ගැනීම, නඩුව ගොනු කළ දිනය 2016 ජනවාරි 30 වැනිදා. ගෝඨාභය රාජපක්ෂ මැදමුලන ස්මාරකය ස්ථාපිත කිරීමට ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවෙන් රුපියල් මිලියන 33.9ක් ගැනීම, නඩුව ගොනු කළ දිනය 2015 සැප්තැම්බර් 08 වැනිදා. ශිරන්ති රාජපක්ෂ. සිරිලිය පදනම සහ තාජුඩීන් ඝාතනයට අදාළ ඩිෆෙන්ඩර් රථ භාවිතය, 2015 ජූනි 15 නඩුව ගොනු කළ දිනය වෙනවා. රෝහිත රාජපක්ෂ සුප්‍රීම් සැට් ව්‍යාපෘතියට රාජ්‍ය මුදල් සහ රාජ්‍ය සම්පත් අවභාවිතය, නඩුව ගොනු කළේ 2015 මාර්තු 20 වැනිදා. හිටපු කථානායක චමල් රාජපක්ෂ, වරාය හා නාවික අමාත්‍යාංශය මඟින් අනුමත නොකළ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීම, 2016 සැප්තැම්බර් 18 වැනිදා.
හිටපු ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ, මහියංගණය ප්‍රදේශයේ නීතිවිරෝධි ලෙස අක්කර ගණනාවක රජයේ ඉඩම් තම හිතවතුන් අතරේ බෙදාදීම, 2015 නොවැම්බර් 12 වැනිදා. ජාලිය වික්‍රමසූරිය හිටපු අෙමරිකන් තානාපති, වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ගොඩනැඟිල්ල මිලදී ගැනීමේදී ඇමරිකනු ඩොලර් 332,000ක මුදලක් වංචා කිරීම, නඩුව ගොනු කළ දිනය 2016 නොවැම්බර් 17 වැනිදා. උදයංග වීරතුංග, මිග් කේස් එක, නඩුව ගොනු කළේ 2015 ජූනි 09 වැනිදා.
නිරූපමා රාජපක්ෂ හිටපු නියෝජ්‍ය ඇමැතිනි, පැන්ඩෝරා පැනමා පත්‍රිකා හරහා හෙළිවූ ජාත්‍යන්තර බැංකු ගිණුම් සඟවා තිබූ රහස් වත්කම්, නඩුව ගොනු කළ දිනය 2021 ඔක්තෝබර් 08 වැනිදා. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ටත් නඩු තිබෙනවා. ලලිත් වීරතුංග. සිල් රෙදි ප්‍රශ්නය, නඩුව ගොනු කළ දිනය 2015 සැප්තැම්බර් 25 වැනිදා. අනූෂ පැල්පිට – සිල් රෙදි ප්‍රශ්නය, නඩුව ගොනු කළ දිනය 2015 සැප්තැම්බර් 25 වැනිදා. පූජිත ජයසුන්දර – පාස්කු ප්‍රහාරයේ පූර්ව බුද්ධි තොරතුරු තිබියදී වළක්වා නොගැනීම, නඩුව ගොනු කිරීම 2021 අගෝස්තු 10 වැනිදා. හේමසිරි ප්‍රනාන්දු, ඒකමයි, නඩුව ගොනු කළේ 2021 අගෝස්තු 10 වැනිදා. අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් 2018, කසුන් පාලිසේන, පර්පෙචුවල් ට්‍රෙෂරීස්, 2018 පෙබරවාරි 2. නාලක ද සිල්වා හිටපු නියෝජ්‍ය පොලිස්පති, 2018 ඔක්තෝබර් 25. ජයන්ත වික්‍රමරත්න, 2017 දෙසැම්බර් 18. අනුර සේනානායක හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, තාජුඩීන් කේස් එක, නඩුව ගොනු කළ දිනය 2016 මැයි 23 වැනිදා. පළාත් සභා, නගර සභා සහ සංස්ථාවල ඒවා. චාමර සම්පත් දසනායක, 2018 අගෝස්තු 14 වැනිදා, පළාත් සභාවේ පාසල් සඳහා රජයේ මුදල්වලින් රෙදි මිලදී ගැනීමේදී ලක්ෂ 160ක වංචාව. එස්.එම්. රංජිත් සමරකෝන් – උතුරු මැද පළාත් හිටපු ඇමැති, නිල ඉන්ධන දීමනා ලබා ගැනීමට අමතරව ඉන්ධන ලබාගෙන රජයට පාඩු කිරීම. 2018 ජූලි 10 වැනිදා. පියසේන ගමගේ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ඉඩමක් අයුතු ලෙස ලබාදීම, 2017 නොවැම්බර් 10 වැනිදා. බන්දුල ගුණවර්ධන, සතොස හරහා සහල් ආනයනය කර රජයට පාඩු කිරීම, 2015 අගෝස්තු 04 වැනිදා. කිලිනොච්චියේ හිටපු සභාපති රූපවතී, ජයන්ත ප්‍රනාන්දු හිටපු අතිරේක ලේකම්, ගීතා කුමාරසිංහ 2015 මාර්තු 24 වැනිදා. රෝහිත බෝගොල්ලාගම, 2016 නොවැම්බර් 15 වැනිදා. මේ වගේ 50කගේ ලැයිස්තුවක් තිබෙනවා. මේවා ඒ කාලයේ ගොනු කළ නඩු. අපි පළිගන්න කරන ඒවා නෙවෙයි.
විමර්ශන අංශය ශක්තිමත් කර අධිකරණය ක්‍රියාත්මක වෙනවා. රාජපක්ෂලා, වික්‍රමසිංහල, ජේ.ආර්.ලා පළිගත් විදියට අපි මොකුත් කරන්නේ නැහැ. අපට පළිගැනීම් කියන එක ගැන පදනමක් නැහැ. මේ මන්ත්‍රීවරුන්ට පෞද්ගලිකව බලපෑමක් සිදුවෙනවා කියන එක අපි දන්නවා. ඒ ගැන අපට හැඟීමක් තිබෙනවා. ඒ පවුල්වලට සිදුවන දේ ගැන දුකයි. ඔබතුමාලා අපත දේශපාලනයක බිලි. දේශපාලන පක්ෂයක් කළ යුත්තේ නිවැරදි දේ. මේ අය දේශපාලන සුළිවලට අහුවෙලා. අපිත් දේශපාලන පක්ෂයක සාමාජිකයන්. අපේ පක්ෂය අපි නිවැරදි කළා. කොන්ද පණ තිබෙන පොලීසියක් ඇති කරන්න බැරි වුණා. ඒ දේවල් තමයි අපි මේ කරගෙන යන්නේ. පැරදිලි කුණුවෙලා යන අවසාන හොල්මන් අවතාරවලට බිලි වෙන්න එපා කියලා විපක්ෂයේ වැදගත් මන්ත්‍රීවරුන්ට අපි කියනවා. මොකද ඔවුන් අපට වටිනවා.
22 වැනි සංශෝධනය කරමින් අපි ඒකාධිපති වෙන්න යනවා කියලා විපක්ෂය කීවා. මේ සියලු නඩු පරණ නඩු. දැන් ඇතැම් නඩු තීන්දු ආවාට පසුව ඒවාට ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න කියනවා. එහෙම වුණොත් උසාවියට ජනාධිපති මැදිහත් වුණා වෙනවානේ. කලින් අධිකරණයට මැදිහත් වෙන්න එපා කියලා, ජනාධිපතිවරයාට දැන් නැවත කියනවා මැදිහත් වෙන්න කියලා. මොකද්ද මේ විපක්ෂයේ දේශපාලනය. නිවැරදිව කටයුතු කරන සියලු දේශපාලකයන්ට, නිලධාරීන්ට අපි ගරු කරනවා.
නීතිය සැමට උඩින් තිබෙන බව අද මනාව ඔප්පු වෙමින් තිබෙනවා. නීතියට සියලුදෙනා යටත් වෙන්න ඕන. ඒක ඇති කරන්නම අවශ්‍යයයි. මෙමඟින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් පුළුල් වෙනවා. නීතියේ පාලනය ඇති කිරීම සහ අල්ලස් දූෂණය නැති කරනවා කියන එක පුළුල් දෙයක්. ස්වාධීන අධිකරණ පද්ධතිය හරහා අල්ලසට විරුද්ධව කටයුතු කිරීම ඉතාම වැදගත්. සිංප්පූරුව එවැනි රටක්. අනෙක් එක රුවන්ඩාව. විවිධාකර වංචනිකයන්ට එරෙහිව කටයුතු කිරීම නිසා රුවන්ඩාව අද හඳුන්වන්නේ අප්‍රිකාවේ සිංගප්පූරුව කියලා. ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළ යාම, ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි වීම යනාදිය ඇතිවීමට නීතියේ විධානය ඉහළ අයුරින් රටක් තුළ තිබිය යුතුයි. ඇමැතිවරුන් පස්සේ ඇවිත් බිස්නස් කරන්න අද කිසිවකුටත් අවශ්‍ය නැහැ. අද චණ්ඩි නොන්ඩි වෙලා. නීතියේ පාලනය නිසා අද ඒ දේ වෙලා තිබෙනවා. 1997න් පසුව දකුණු කොරියාව දූෂණ විරෝධි කටයුතු කළා. මහා පරිමාණ ව්‍යාපාරිකයන් සමඟ සම්බන්ධ වෙලා කරපු දූෂණ වංචාවලට විරුද්ධව දකුණු කොරියාව කටයුතු කළා.
දූෂණයට විරුද්ධව ඇති ආයතන ශක්තිමත් කිරීම මඟින් රටකට පුළුල් ශක්තියක් ඇති කරනවා. අද එක සුදු වෑන් එකක් නැහැ. මිනිසුන් බොරුවට අත්අඩංගුවට ගැනීම් නැහැ. අල්ලසට හා දූෂණයට විරුද්ධව කටයුතු කිරීම ඉතාම අවශ්‍යයයි. වර්තමානයේ අත්අඩංගුවට ගැනීම්, දඬුවම් දීම් පළිගැනීම් ලෙස අර්ථ දක්වන්න ඇතැම් පිරිස් කටයුතු කරනවා. පරමාදර්ශි සටන් පාඨ භාවිත කරනවා නම් ඒවාට හරියන විදියට කටයුතු කරන්න ඕන.”
@Lankatruth.com
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

