රට හරි පාරට ගෙනියන්න මගපෙන්වන්නේ අපි – උපුල් කුමාරප්පෙරුම
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික ක්රියාවලියේ තිබූ අඩුපාඩු, දූෂණ සහ අක්රමිකතා මත සමස්ත සමාජය බිඳවැටෙමින් තිබූ අවධියකයි. රටේ පාලකයන් විසින් සමාජීය වශයෙන් ඇති කර තිබූ ගැටලු විශාල ප්රමාණයකට පිළිතුරු සොයන්න ජාතික විද්වත් සංවිධානය පිහිටුවා ගත්තා. එදා සිට පවත්වාගෙන ආ දේශපාලන සංස්කෘතිය මත මිනිසුන් පත්ව තිබූ තත්ත්වය මෙන්ම අනෙක් පැත්තෙන් දේශපාලකයන් පත්ව තිබූ තත්ත්වය, දේශපාලනය විසින් මෙහෙයවනු ලබන ආයතනවල පැවැති තත්ත්වයන් ආදී සියල්ල නැවත ගොඩනැඟීමේ අවශ්යතාව නිසා අපේ සංවිධානය බිහි කළා.
රටේ පාලනය නියාමනය සම්බන්ධයෙන් මූලික විෂය ක්ෂේත්ර ගණනාවක් අපි හඳුනා ගත්තා. ඉංජිනේරු, බැංකු, අධ්යාපන, කෘෂිකර්ම, ගණකාධිකාරී, වෛද්ය සහ පශු වෛද්ය, මිනින්දෝරු, කර්මාන්ත, ව්යවසාය, නීතිඥ, විශ්රාමික හමුදා, විශ්රාමික පොලිස්, විශ්රාමික රාජ්ය සේවක වැනි බොහෝ ක්ෂේත්රවලට සම්බන්ධ වී සිටි ප්රමාණවත් උගතුන් විශාල සංඛ්යාවක් මේ සංවිධානයට එකතු කර ගත්තා. ප්රධාන වශයෙන් ජාතික විධායක කමිටුවක් නිර්මාණය කර දිස්ත්රික්ක වශයෙන් කමිටු 24ක් පිහිටුවා මූලික අඩිතාලම දැම්මා.
අපේ සංවිධානයට පිළිගත හැකි දේශපාලන ව්යාපාරයක් බලය ලබාගත් අවස්ථාවක සහාය දැක්වීමේ අරමුණක් අපට තිබුණා. 2019දී ජාතික ජන බලවේගය නිර්මාණය වන විට අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා සහයෝගය දක්වන්න තීරණය කළා. එහි ප්රතිඵලයක් වශයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් අතර අපේ සාමාජිකයන් විශාල සංඛ්යාවක් සිටිනවා. සමහර අය ඇමති ධුර පවා දරනවා.
පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නා ප්රතිපත්ති සකස් කිරීම සඳහා අපි මූලික දායකත්වය ලබාදී තිබෙනවා. සමහර ක්ෂේත්ර සම්බන්ධයෙන් අපේ සංවිධානයේ ස්වාධීන ප්රතිපත්ති, සංකල්ප පත්රිකා ලබාදී තිබෙනවා. ඒ මත බොහෝ දේ ගොඩනැඟී තිබෙනවා.
නිදසුනක් වශයෙන් බරපතළ ප්රශ්නයක් වී තිබෙන ප්රවාහන පද්ධතියේ පවතින බරපතළ ගැටලු හඳුනාගෙන විසඳුම් යෝජනා කළා. රටක සංවර්ධනයේදී ප්රවාහනය සහ මහාමාර්ග මූලික යටිතල පහසුකමක් වී තිබෙනවා. මගී ප්රවාහනය නවීකරණය කර, මාර්ග ඉදිකිරීම සහ නවීකරණය කිරීම, දුම්රිය මාර්ග දක්වා දිගු කර තිබෙනවා.
මෙට්රෝ බස් 100කට වැඩි සංඛ්යාවක් නගර ආශ්රිත සේවයට යොදවා තිබෙන අතර තවත් බස් 800ක් දුර ගමන් සේවා සඳහා ආනයනය කිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා. දුම්රිය ප්රවාහනය නවීකරණය කිරීමට තිබෙන බොහෝ ක්රියාමාර්ග අතර කැලණිවැලි මාර්ගය ද්විත්ව මාර්ගයක් දක්වා සංවර්ධනය කරනවා. ඒ අනුව කොළඹ පරණ පාර සහ හයිලෙවල් පාර මෙන්ම හෝරණ කොළඹ මාර්ගයේ අධික තදබදය අවම කරන්න ක්රියාමාර්ග ගනිමින් සිටිනවා.
පුද්ගලික වාහනවලින් එන ගමන් නවතා පොදු මහජන ප්රවාහනය කෙරෙහි විශ්වාසයෙන් කටයුතු කළ හැකි ආකාරයට ගොඩනඟමින් සිටිනවා. සෞඛ්ය සහ අධ්යාපන ක්ෂේත්රවලද විශාල නවීකරණයන් ප්රමාණයක් දැනටමත් සිදු කරනවා.
රටක් පවත්වාගෙන යාමට නිසි ආකාරයේ පාලනය අත්යවශ්යයි. සරලව කියනවා නම් යහපාලනයක් අවශ්යයි. මෙන්න මේ යහපාලනය ගොඩනැඟීමටයි අපි ක්රියා කරන්නේ. දිස්ත්රික් මට්ටමේ සිටින අපේ නියෝජිතයන් රජයේ නිලධාරීන් දැනුවත් කරමින්, මහජනතාව දැනුවත් කරමින් රට නිවැරදි මාර්ගයකට ගැනීම සඳහා අපේ දැනුම, ඥානය සහ මඟපෙන්වීම ලබා දෙනවා. ඒ වෙනුවෙන් ගොඩනැඟුණු අපේ සංවිධානයේ දසවැනි සංවත්සරය 31 වැනිදා පවත්වනවා.
නූතන ලෝකයේ ලාංකීය අනන්යතාව තහවුරු කරන්න එක්වන්න!
ජාතික ජන බලවේග විධායක කමිටු සාමාජික ආචාර්ය චින්තක පෙරේරා
මීට අවුරුදු 10කට පෙර පක්ෂයක පාටකින් සිත්තම් නොවූ ජාතික ප්රතිපත්තියක් සකස් කිරීම සඳහා අත්දැකීම් සහිත විද්වතුන් එකතු වී ක්ෂේත්ර 24ක සැලසුම් සකස් කළා. මේ සැලසුම් වැඩපිළිවෙළක් බවට පත්කර ගැනීමේ සාකච්ඡාවක් 2019දී ජාතික ජන බලවේගය සමඟ ආරම්භ කළා. අපි සැලසුම් කළ ප්රතිපත්ති තවදුරටත් වර්ධනය කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නායකත්වය ඇතුළු ජාතික ජන බලවේගයේ පුළුල් සංවිධානය විසින් තවදුරටත් පුළුල් කළා. මේ රටට උචිත ජාතික ප්රතිපත්තිය ගොඩනඟා මේ වන විට ජාතික ජන බලවේගයේ ආණ්ඩුවෙන් ක්රියාකාරී මට්ටමකට ගෙනවිත් තිබෙනවා.
මින් ඉදිරියට තිබෙන්නේ ලෝකය පුරා සිදුවන සමාජ, ආර්ථික, දේශපාලනික, අධ්යාපනික, කෘෂිකාර්මික සහ දේශගුණික විපර්යාස සිදුවන බරපතළ පරිවර්තනීය යුගයේ අභියෝග ජය ගැනීමයි. තොරතුරු තාක්ෂණයේ පිම්මෙන් පිම්මට සිදුවන වෙනස්කම් වගේම ප්රංශය ඇතුළු රටවල පවතින අරගලවලින් කියැවෙන්නේ හුදු වෙනසක් නොව පරිවර්තනීය යුගයක් ඉල්ලා සිටින බවයි. ගෝලීය වශයෙන් පරිවර්තනීය යුගයක් ඉල්ලා සිටින අවස්ථාවක ලංකාවත් ස්ථානගත වී තිබෙනවා.
මේ තත්ත්වය තුළ ගෝලීය පරිවර්තනයේදී ලාංකීය අනන්යතාව රැකගනිමින් ඉදිරියට යන්නේ කොහොමද කියන සාකච්ඡාව අනුව කලින් සැකසූ ප්රතිපත්ති සමාලෝචනය කරන්න සිදුවෙනවා. විශේෂයෙන්ම ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් එවකදී තිබූ අදහස් ඉක්මනින්ම නැවත වෙනස් කරන්න බල කෙරෙමින් තිබෙනවා. පරිසරය, අධ්යාපනය වැනි මාතෘකා සම්බන්ධයෙන් විශේෂ සමාලෝචනයන් සිදුකර ගනිමින් ක්රියාත්මක කිරීමට ජාතික විද්වත් සංවිධානය වගකීමක් ලෙස පවරාගෙන තිබෙනවා. එම ක්රියාමාර්ගවලදී පවතින රජයට අපේ දායකත්වය ලබාදීම කළ යුතුයි.
ලංකාව පුරා තිබෙන සෑම මැතිවරණ කොට්ඨාසයකම ආවරණය වන ආකාරයෙන් විවිධ ක්ෂේත්රවල අත්දැකීම් සහිත බුද්ධිමතුන් අප සමඟ එකතු වී සිටිනවා. අපේ සංවිධානයට වසර 10ක් පිරීම නිමිත්තෙන් ජාතික සමුළුවක් පවත්වනවා. මේ දක්වා අපත් සමඟ එකතු නොවූ විවිධ ක්ෂේත්රවල අත්දැකීම් සහිත සහ න්යායික දැනුම තිබෙන මෙරට සහ විදේශගත පුරවැසියන් එක්වන ලෙස ඉල්ලා සිටිනවා. ලංකාව තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටක් නොව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ වගකීම සෑම පුරවැසියෙකුටම පවතිනවා.
අපි විද්වතුන් යනුවෙන් හඳුන්වන්නේ අධ්යාපන නිර්ණායක ඇති අය පමණක් නොවෙයි. කෘෂිකාර්මික අත්දැකීම් සහිත, සාම්ප්රදායික දැනුම සහිත පුරවැසියන් පවා අපේ සාමාජිකත්වය ලෙස එකතු කරගෙන සිටිනවා. මේ දක්වා එකතු නොවූ අය එක්වී ලාංකීය අනන්යතාව ගෝලීය වශයෙන් තහවුරු කරන්න එක්වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.
දේශපාලන ව්යාපාරයකින් ඔබ්බට ගිය මහජනතාවගේ අවශ්යතාවක් අපි ඉටුකරමින් සිටිනවා.
මාතලේ දිස්ත්රික්කයේ ජාතික විද්වත් කමිටු සාමාජික, හිටපු මිනුම්පති ප්රියන්ත සංඝක්කාර
ජාතික විද්වත් සංවිධානය පිහිටුවා තිබීමෙන් වත්මන් ආණ්ඩුව බලයට පත්කර ගැනීම සඳහා ලොකු පිටුවහලක් ලැබුණා. මේ ආණ්ඩුව රැකගනිමින් මහජනතාව වෙනුවෙන් හොඳ සේවයක් ඉටුකිරීමේ වගකීමක් අපට තිබෙනවා. අපේ දසවැනි සංවත්සරය පවත්වන්නේ ඒ අරමුණ ඇතිවයි. ජාතික, දිස්ත්රික් සහ ප්රාදේශීය මට්ටමේ විද්වතුන් සහභාගි කරගනිමින් මූලික සැලසුම් ක්රියාත්මක කිරීම සහ මුල් සැලසුම් කාලීන අවශ්යතා අනුව වෙනස් කිරීමේ ක්රියාවලියක් ලෙස ඉදිරියට ගෙන යා යුතුයි.
විශේෂයෙන්ම මාතලේ දිස්ත්රික්කයේ සංවර්ධන සැලසුම් ක්රියාත්මක කරන්න අපි සක්රීයව දායක වී තිබෙනවා. වෙන්කරන මුදල් ප්රතිපාදන අනුව උපරිම ඵලදායී ලෙස ජනතා සංවර්ධනය සිදුකරමින් සිටිනවා. පසුගිය ආණ්ඩු දියත් කළේ දේශපාලනඥයන්ට අවශ්ය ව්යාපෘති එක් එක් පුද්ගලයාට අවශ්ය අරමුණුවලට වඩා සාමූහිකත්වයට ප්රමුඛත්වය ලබාදී ක්රියාකිරීමයි, අපේ පදනම.
මේ අනුව දේශපාලන අධිකාරියට අපි ලබාදෙන උපදෙස් සහ මඟපෙන්වීම් පිළිගනිමින් කටයුතු කරන බව විශේෂයෙන් අවධාරණය කරන්න ඕනෑ. ලංකාවේ ඉඩම් ආරවුල් මුල්කරගෙන නඩු 80%ක් පමණ පවතින අතර අපරාධවලටත් මුල් වී තිබෙනවා. එයට විසඳුමක් වශයෙන් ඉඩම් නිරවුල් කිරීමේ පනත සමඟ බිම් සවිය ව්යාපෘතිය ක්රියාත්මක කිරීමට යම් ප්රමාදයක් සිදුවී තිබෙනවා. නමුත් භූගෝලීය තොරතුරු ඉතා ඉක්මනින් ලබාගෙන නව ආයෝජන සඳහා මෙන්ම අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා යොදා ගත යුතු වෙනවා.
ඒ වගේම පොහොර බෙදාදීම සහ අවශ්ය අවස්ථාවලදී සහනාධාර ලබාදීමට අවශ්ය මූලික දත්ත භූගෝලීය වශයෙන් දත්ත සහිතව සකස් කළ යුතුයි. අලි-මිනිස් ගැටුම අවසන් කරන්නත් මේ දත්ත අවශ්යයි. මිනුම්පති දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් මූලික යටිතල පහසුකම් යොදා තිබෙනවා. තොරතුරු තාක්ෂණයත් එකතු කර ගනිමින් ගෙන යන මේ වැඩපිළිවෙළ ජයග්රහණය නොදුටුවහොත් අත්කර ගත හැකියි. අනෙකුත් පරිපාලන කටයුතු වෙනුවෙනුත් විද්වත් සංවිධානයේ සාමාජිකයන් එකතු වී ක්රියාකරනවා.
මේ වන විට විදේශගත වී සිටින අයගේ දැනුම සහ අත්දැකීම්ද අපට ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. දේශපාලන ව්යාපාරයකින් ඔබ්බට ගිය මහජනතාවගේ අවශ්යතාවක් අපි ඉටුකරමින් සිටිනවා. යහපාලනය රට තුළ යථාර්ථයක් කිරීමට පක්ෂ භේදයකින් තොරව විද්වතුන් ඒකරාශී වන ලෙස ඉල්ලා සිටිනවා.
ආර්ථිකය වැටෙයි කියලා කිසිවෙකුත් කලබල විය යුතු නැහැ.
කැලණිය විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා අධ්යයන අංශයේ මහාචාර්ය සීතා බණ්ඩාර
අපේ සංවිධානය 2019න් පසු අලුත් ආණ්ඩුවක් පත්කර ගන්න විශාල කාර්යභාරයක් ඉටු කළා. මූලික වශයෙන් ප්රතිපත්ති සම්පාදනය සඳහා විවිධ ක්ෂේත්රවල ප්රවීණයන් මේ කාර්යභාරයට එක් වුණා. අපේ සංවිධානයේ සාමාජිකයන් පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් ලෙසත් තේරී පත්වී කැපවීමෙන් වැඩ කරනවා. ඊට අමතරව විවිධ රාජ්ය ආයතනවල මූලික වගකීම් දරනවා. රජයේ විවිධ ආයතනවල අධ්යක්ෂ මණ්ඩලවල හිඳිමින් කැපවීමෙන් කටයුතු කරනවා. විදේශ රටවල හිටපු අපේ සාමාජිකයන් ආපසු ඇවිත් රට වෙනුවෙන් වැඩ කරනවා. සමහරු ඒ විදේශ රටවල රැකියා කරන ගමන් මේ රටේ වැඩ වෙනුවෙන් වෙලාව කැප කරනවා.
මේ ආකාරයට පිරිසක් රට ගොඩනඟන්න වැඩ කරන අතර තවත් කුඩා කණ්ඩායමක් රට නැවත වරක් කඩා වට්ටන්න අසත්ය ප්රචාර ගෙන යනවා. දත්ත විකෘති කරනවා. නමුත් ආර්ථික දත්ත අනුව තහවුරු වී තිබෙන්නේ 2022දී අපේ ප්රාථමික ගිණුමේ ශේෂය ඍණ 3.7 සිට මේ වන විට 5.4ක් වූ දළ ජාතික නිෂ්පාදිතයේ ප්රතිශතයක් වශයෙන් ඉදිරියට ගෙනවිත් තිබෙන බවයි. අපේ ආණ්ඩුව කොතරම් හොඳින් මූල්ය විනය පවත්වාගෙන යනවාද යන්න එයින් පැහැදිලි වෙනවා.
ඍණ ප්රාථමික ශේෂයක් තිබෙනවා නම් එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්නත් ණය ගන්න සිදුවෙනවා. නමුත් දළ ශේෂයක් පවත්වාගෙන යනවා කියන එකෙන් හැඟෙන්නේ ණය ගැනීම්වලින් තොරව එදිනෙදා වියදම් දැරීමට හැකි වී තිබෙන බවයි.
ඒ වගේම ඉහළ ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන යන්නත් හැකි වී තිබෙනවා. මැදපෙරදිග යුද්ධය, එයින් ඇතිවන තෙල් මිල, ඩ්විට්වා වැනි ස්වාභාවික ව්යසනවලින් සිදුවන බාහිර කම්පනවලට හොඳින් ඔරොත්තු දීමේ හැකියාවක් අපේ ආර්ථිකයට තිබෙනවා. ඒ නිසා ආර්ථිකය වැටෙයි කියලා කිසිවෙකුත් කලබල විය යුතු නැහැ.
ආර්ථිකයේ විවිධ ක්ෂේත්රවල විනිවිදභාවයකින් යුතුව හොඳ සුපරීක්ෂණයකින් වෘත්තිකයන් කණ්ඩායමක් විසින් මෙහෙයවමින් සිටිනවා. අපි ගොඩනඟන්නේ පොහොසත් රටක් ඇතුළේ ලස්සන ජීවිතයක් තිබෙන සමාජයක්. අපි කරගෙන යන වැඩේ නිවැරදි නම්, කඩා වැටී තිබූ රට, සියලු ක්ෂේත්ර විනාශ වී තිබුණු, දශක ගණනාවක් අකර්මණ්ය වී තිබුණු ක්ෂේත්ර ගොඩගත හැකියි. ගෙවුණු අවුරුදු දෙකක කෙටි කාලයට වඩා ඉදිරියේදී තවත් බොහෝ දේ ඉටුකිරීමට තිබෙනවා.
සරලව කියනවා නම් දැඩි සත්කාර ඒකකයේ තිබුණු රට එළියට ගැනීමේ හැකියාව ගෙවුණු කාලය තුළ අත්කරගෙන තිබෙනවා. මින් ඉදිරියටත් අපට සාමූහිකව කැපවීමෙන් කෙටි කාලයක් තුළ තවත් ජයග්රහණ අත්පත් කරගත හැකියි. විධිමත් ආකාරයට ආදායම් කළමනාකරණය කරමින් ගොඩනඟාගෙන තිබෙන ස්වයං මූල්ය විනය අනුව වගකීමෙන් යුතුව මහජනතාවට සේවය කරන දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීම සාර්ථකව අවසන් කරනවා.
මෙතෙක් විනාශ වූ සියලු ක්ෂේත්ර යළි ගොඩනඟා හැමෝටම සතුටින් ජීවත් විය හැකි පොහොසත් රටක් ගොඩනැඟීමට එක්වන ලෙස අපි ජනතාවට ආරාධනා කරනවා.
බැංකු හා මූල්ය ක්ෂේත්රයේ වෘත්තිකයන් දස දහස් ගණනක් රට අතහැර ගියා. යුගයක් නිර්මාණය වී තිබුණා.
ජාතික විද්වත් සංවිධානයේ බැංකු හා මූල්ය අංශයේ කැඳවුම්කරු සමීර අල්විස්
බැංකු හා මූල්ය ක්ෂේත්රය නිසි පරිදි කළමනාකරණය නොකර, ඩොලර් මිලියන 500ක විදේශ ණය වාරික ගෙවීමේ ප්රතිඵලයක් ලෙස 2022 අප්රේල් 12 වැනි දින වන විට නිල සංචිත ඉතිරිව තිබුණේ ඩොලර් මිලියන 24යි. තෙල් නැවක්වත් ගෙන්විය නොහැකි රටක් බවට එදා පාලකයන් රට පත් කළේ ඒ නිසයි. අපි සමස්ත වෘත්තික ප්රජාවක් ලෙස දැඩි ලෙස අසරණභාවයට පත් වුණා. බැංකු හා මූල්ය ක්ෂේත්රයේ වෘත්තිකයන් දස දහස් ගණනක් රට අතහැර ගිය යුගයක් නිර්මාණය වී තිබුණා. අනෙකුත් ක්ෂේත්රවල වෘත්තිකයන්ද රට අතහැර ගියා.
ඔවුන් පවත්වාගෙන ආ දේශපාලන සංස්කෘතිය ආර්ථික මර්මස්ථානවලට, ඒ කියන්නේ බැංකු හා මූල්ය ක්ෂේත්රයටත් පටවා තිබුණා. සමහර බැංකුවලට පත්කර සිටියේ සමහර නායකයන්ගේ හඬට කන් දෙන උදවිය. ඒ දේශපාලන සංස්කෘතිය වෙනුවට ප්රමාණවත් දැනුමක් තිබෙන වෘත්තීය විශේෂඥයන් පිරිසක් වෙත වගකීම් පවරා රටේ ආර්ථික සංවර්ධනයට යොදවා සිටිනවා.
ජාතික විද්වත් සංවිධානය හැටියට එම සමස්ත වෘත්තිකයන්ම එක කොඩියක් යටතට එක්වී සිටිනවා. 2024 සැප්තැම්බර් 21 වැනිදාට පසු ගෙවී ගිය වසර දෙක තුළ බැංකු හා මූල්ය සංසදය හැටියට ඉතාමත් සුබවාදී පරිවර්තනයක් සිදුවී ඇති බව විශ්වාසයෙන් කියන්න පුළුවන්. අත්දැකීම් බහුල, ස්වාධීනව කටයුතු කළ හැකි පිරිසක් මූල්ය ආයතනවල අධ්යක්ෂ මණ්ඩලවලට පත් කළා.
එහි ප්රතිඵලයක් හැටියට 2025 වර්ෂයේදී බැංකු හා මූල්ය ක්ෂේත්රයේ රාජ්ය හා පෞද්ගලික බැංකුත් වාර්තාගත ලාභදායී තත්ත්වයට පත් වුණා. ප්රධාන රාජ්ය බැංකු තුන බදු ගෙවීමෙන් පසු රුපියල් කෝටි 15,000ක පමණ ලාභයක් ලැබුවා. සමස්ත බැංකු හා මූල්ය ක්ෂේත්රයේ බදු ගෙවූ පසු ලාභය රුපියල් කෝටි 40,000ක් පමණ වෙනවා. රටේ ආර්ථිකය ධාවනය කිරීමේ මූලික බලවේගය වෙන්නේ මේ ක්ෂේත්රයයි.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය රැකගනිමින් රටක් හැටියට 5%ක ආර්ථික වර්ධනයක් 2025 වර්ෂයේදී අත්කර ගත්තා. ඩොලර් බිලියන 4.1ක පමණ විනාශයක් දී ඇති සුළි කුණාටුවෙන් සිදුවී තිබියදීත් මේ වසරේ මුල් කාර්තු දෙකේදී 4.2%ක ආර්ථික වර්ධනයක් අත්කර ගත්තා.
අපේ රටට මෙට්රෝ බස් යැයි කියා එදා සිටි වෘත්තිකයන් සිතුවේ නැහැ. යන්න හිතන රටක් වෙනුවට අද වෙනකොට ඉන්න හිතෙන රටක් මේ ආණ්ඩුවෙන් ගොඩනඟමින් සිටිනවා.
ජාතික විද්වත් සංවිධානයේ බැංකු හා මූල්ය සංසදය හැටියට අපි මේ ආණ්ඩුවට සුබ පතනවා. විදේශ විනිමය ඉපැයීම වේගවත් කර ගැනීමට අදාළ යෝජනා සහ ක්රියාකාරී සැලැස්මක් අපි මුදල් නියෝජ්ය ඇමතිතුමාට භාර දුන්නා. බැංකු හා මූල්ය ක්ෂේත්රයේ සිටි ප්රවීණ වෘත්තිකයන් තමන් ලැබූ ඉහළ වැටුප් පවා අතහැර දමා මේ ආණ්ඩුවත් සමඟ එක්වී සිටිනවා. ඒ නිසා පාඩු ලබමින් තිබූ ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර අපේ රට සංවර්ධනයේ මාවතට ගෙනවිත් තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

