බෙන්ජමින් නෙතන්යාහු තනිවෙයි
ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ඔහුගේ ලිකුඩ් පක්ෂයේ මන්ත්‍රීවරු 46 දෙනකු හැර සන්ධානගත වී සිටි කිසිදු පක්ෂ තවදුරටත් නොමැති බවත්, නව රජයක් පත්වනතුරු ඔහු තාවකාලික අගමැතිවරයකු පමණක් බවත් හිටපු ආරක්ෂක ප්‍රධානී සහ යෂාර් පක්ෂයේ නායක ගාඩි අයිසන්කොට් ප්‍රකාශ කර තිබේ. සිය සන්ධානයේ පක්ෂ නායකයන් සමඟ පෙරේදා පැවති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මැතිවරණයේදී දුන් පොරොන්දුවලට අනුව සහ ඊශ්‍රායලයේ මූලධර්මවලට අනුව හදිසි ජාතික රජයක් පිහිටුවීමට සිය උපරිම දායකත්වය ලබා දෙන බවය. නෙතන්යාහු හිතවාදී පාර්ලිමේන්තු කථානායක ඉවත් කිරීම, තීරණාත්මක පනත් කෙටුම්පත් සම්මත කිරීම සහ අධිකරණ හා මාධ්‍ය ප්‍රතිසංස්කරණ නීති ඇතුළුව ප්රජාතන්ත්රවාදයට තර්ජනයක් වන සියලු නීති අවලංගු කිරීමට පියවර ගන්නා බවත් අගමැති අපේක්ෂක ගාඩි අයිසන්කොට් සඳහන් කර තිබේ. ඊශ්‍රායලය තවත් මැතිවරණයකට ඇද දැමීමට සහ තවදුරටත් බලයේ රැඳී සිටීමට නෙතන්යාහු ගන්නා උත්සාහයන් වැළැක්වීම සඳහා කඩිනමින් රජයක් පිහිටුවන බවද ඔහු ප්‍රකාශ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. ලබන සතියේදී නව පාර්ලිමේන්තුව දිව්රුම් දීමෙන් පසු විපක්ෂ බලවේගය වෙනස් කිරීමට නෙතන්යාහු සැලසුම් කර ඇතැයි ද ඔහු චෝදනා කර තිබේ.

ඊශ්‍රායලයේ මිළඟ රජය පිහිටුවීම සඳහා ගාඩි අයිසන්කොට් වෙත සහාය දීමට විපක්ෂයේ දේශපාලන නායකයන් රැසක්ම එකඟ වී ඇති අතර, ඒ පිළිබඳ ජනාධිපති අයිසැක් හර්සෝග්හට නිර්දේශ ඉදිරිපත් කිරීමට සූදානමින් පසුවන බවද වාර්තා වේ. ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව දිව්රුම් දීම මේ මස 10 වැනිදාට නියමිතව ඇති අතර, 11 වැනිදාට පෙර නව රජයක් පිහිටුවීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරී තිබේ. අනතුරුව සන්ධානයක් ගොඩ නැඟීමට ඉහළම හැකියාව ඇති බවට විශ්වාස කරන අපේක්ෂකයා තෝරා ගනිමින් නව රජයක් පිහිටුවීමට සහ පාර්ලිමේන්තුවේ බහුතර එකඟතාව මත අගමැති පත් කිරීමට ජනාධීපතිවරයා කටයුතු කරනු ඇතැයි වාර්තා වේ. කඩිනමින් රජයක් පිහිටුවීමට විපක්ෂය කටයුතු කරමින් සිටියද, ඒ සඳහා ආසන 19ක බලය අත්කරගත් අරාබි පක්ෂ සමඟ සන්ධානගත වන්නේදැයි මෙතෙක් තීරණය වී නැති බවත්, ඒ පිළිබඳ තවදුරටත් මතභේද පවතින බවත් ඊශ්‍රායල මාධ්‍ය සඳහන් කරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

