Latestවිදේශීය

නෙතන්යාහු අර්බුද රැසකට මුහුණ දෙයි

ඉරානයට එරෙහිව යළි හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමේ සූදානමක් පවතින බවට වාර්තා පළවන පසුබිමක, ඊශ්‍රායලයේ වැඩබලන අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ රජයක් පිහිටුවීමේ වගකීම පැවරී ඇති ගාඩි අයිසන්කොට් අතර විශේෂ ආරක්ෂක සාකච්ඡාවක් පවත්වා තිබේ .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ (12) ජෙරුසලමේ පිහිටි නෙතන්යාහුගේ කාර්යාලයේදී පැවති මෙම හමුව පැය දෙකක පමණ කාලයකින් අනතුරුව අවසන් වූ බවයි. නෙතන්යාහුගේ හමුදා ලේකම්වරයා ද ඊට එක්ව තිබෙන බවට සදහන් වේ .

ඊශ්‍රායලයේ වත්මන් ආරක්ෂක හා රාජ්‍ය තාන්ත්‍රික අභියෝග සම්බන්ධයෙන් අයිසන්කොට් දැනුවත් කළ බවත්, ඉදිරියේදී අවශ්‍ය අවස්ථාවලදී තොරතුරු හුවමාරු කර ගැනීමට දෙපාර්ශවය එකඟ වූ බවත් ඒකාබද්ධ ප්‍රකාශයක සඳහන් වේ .

මෙම හමුව සිදුව ඇත්තේ රජයක් පිහිටුවීමේ සංක්‍රාන්ති කාලසීමාව තුළ හදිසි තර්ජනයක් නොමැතිව හමුදා හෝ ආරක්ෂක මෙහෙයුම් දියත් නොකරන ලෙස අයිසන්කොට් නෙතන්යාහුගෙන් ඉල්ලා දිනකට පසුවයි.

මේ අතර, අමෙරිකා එක්සත් ජනපදයේ සහාය නොමැතිව ඉරානයට එරෙහිව ඒකපාර්ශ්වික හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීමට නෙතන්යාහු උත්සාහ කරන බවට විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් චෝදනා කර තිබෙන අතර එවැනි ක්‍රියාමාර්ගයකට හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අයාල් සාමීර් ඇතුළු ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්ගේ විරෝධය පළ වී ඇති බව ද වාර්තා වේ .

කෙසේ වෙතත්, නෙතන්යාහු එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අයිසන්කොට්ගේ අනතුරු ඇඟවීම වගකීම් විරහිත ප්‍රකාශයක් ලෙස හඳුන්වා තිබේ .

මේ අතර, ඊශ්‍රායලයේ යිස්රායෙල් බෙයිටෙයිනු පක්ෂ නායක අවිග්ඩෝර් ලිබර්මන් පවසා ඇත්තේ පාර්ලිමේන්තු අධීක්ෂණයකින් සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන්ගේ එකඟතාවකින් තොරව යුද්ධයකට තුඩු දිය හැකි තීරණ භාරකාර රජයක් විසින් නොගත යුතු බවයි.

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමේ වගකීම අයිසන්කොට් වෙත පැවරී ඇති අතර, ඒ සඳහා ඔහුට දින 28ක කාලයක් හිමිව තිබෙනවා. අවශ්‍ය නම් තවත් දින 14ක දිගුවක් ලබාගැනීමට ද හැකියාව පවතිනවා.

නව රජයක් බලයට පත්වන තෙක් බෙන්ජමින් නෙතන්යාහු භාරකාර අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇත.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *