ක්‍රීඩා

CSK පරදා RCB ජයගනී – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඩුබායිහි දී පැවැති 25 වන තරගයේ ජය තමන් සතුකර ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම ඊයේ (10) දින සමත් විය.

කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත් වූ අතර එහි දී අනර්ඝ පිතිහරඹයක යෙදුණු රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායමේ නායක විරාට් කෝලි පන්දු 52ක් තුළ දී ලකුණු 90ක් සිය කණ්ඩායම වෙනුවෙන් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 132ක් පමණි.

එම තරගය ජය ගැනීමත් සමඟ රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ රැඳී සිටී.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම අතර අබුඩාබිහි දී පැවැත්විණ.

එම තරගය කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 2කින් ජය ගැනීමට සමත් විය.

තරගය ජයගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 164ක් රැස්කර ගැනීමට සමත් වූ අතර දෙවනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කරගත්තේ ලකුණු 162ක් පමණි.

ඒ අනුව එම තරගය ජයගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටනේ තෙවනි ස්ථානයේ රැඳීසිටී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?