දේශීය

පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට පොලිස්පති නිර්දේශ

කොවිඩ් -19 සංචරණ සීමා සමයේ රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර දෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්ත මහතා විසින් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර සමරසිරි මහතා විසින් පොලිස්පතිවරයා වෙත සිදුකළ ලිඛිත ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් අදාළ නිර්දේශය ඉදිරිපත් කර තිබේ.

වසර එක හමාරක පමණ කාලයක සිට අවස්ථා කිහිපයකදී පොත් අලෙවිසැල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් පොත් ප්‍රකාශන කර්මාන්තයට ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පෙන්වා දී ඇත.

පොත්හල් අඛණ්ඩව වසා තැබීමෙන් පාසල් දරුවන්ගේ අධ්‍යාපනයට අහිතකර බලපෑම් එල්ල වී ඇති අතර අවශ්‍ය පොත්පත් නොමැතිව මාර්ගගත අධ්‍යාපනයේ නියැලීමට දරුවන්ට නොහැකි වී ඇති බව ද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සඳහන් කර තිබේ.

අදාළ කරුණු සැළකිල්ලට ගනිමින් කොවිඩ් -19 සංචරණ සීමා පැනවෙන කාලය තුළ පොත්හල් විවෘත කර තැබීම සුදුසු බවට නිර්දේශ කරන ලෙස පොලිස්පතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?