දේශීය

සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍යයි – ජනපති

සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගො හිදී පැවැත්වෙන COP 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රජන් නැවත සොයා ගැනීම, දේශගුණික විපර්යාස, සෞඛ්‍ය, ජෛව විවිධත්වය, චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය” තේමාව යටතේ ශ්‍රී ලංකාව සංවිධාන කළ විශේෂ සම්මන්ත්‍රණය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ඊයේ (31) එරට වේලාවෙන් ප.ව. 5.00ට මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.

සිය රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනය බව ජනාධිපතිතුමා එහිදි පෙන්වා දී තිබේ.

නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකොට කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතළ ගැටලුවක් වී ඇති බවයි.

රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ මෙම සන්දර්භය තුළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත්, ඊට විවේචන සහ විරෝධතා එල්ල වී ඇති බවත් රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව, අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතා පැමිණ ඇති බවත්  ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්මික උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගිතිශීලි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන්නේ සංවර්ධනය වෙමින් පවතින ජාතියක් ලෙස එයට මුහුණදෙන සම්පත් බාධක මාධ්‍යයේ බව පැවසූ ජනාධිපතිතුමා සංවර්ධන වැඩසටහන් සමගින් එවැනි න්‍යාය පත්‍රයක් පවත්වාගෙන යාම විශේෂයෙන් කොවිඩි වසංගතයෙන් පසුව සංවර්ධනය වෙමින් පවතින සියලුම ජාතීන්ට අභියෝගාත්මක බව ද පෙන්වා දුන්නේය.

සංවර්ධිත රටවල් මගින් එවැනි ජාතීන්ට සංවර්ධන ආධාර, තාක්ෂණ හුවමාරු කිරීම්, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය සහාය හරහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපතිතුමා මෙහිදී ව්‍යාපාර සඳහා සැලකිය යුතු කාර්යභාරයක් පවතින අතර තිරසර සංවර්ධනය සඳහා ආයෝජන කිරීමේ දී සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ද සඳහන් කළේය.

මේ අතර හරිත කෘෂිකර්මාන්තයට 100%ක්ම පරිවර්තනය වීමට තීරණය කළ ලොව පළමු රට බවට ශ්‍රී ලංකාව පත්ව සිටින බව සම්මන්ත්‍රණයට පැමිණ සිටි විදේශ නියෝජිතයන් පිළිගනිමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේය.

දේශගුණික විපර්යාස සඳහා තිරසර විසඳුම් සහිත හරිත – සමාජ ආර්ථිකයක් නිර්මාණය කිරීම එහි අරමුණ බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

ඉතිහාසයේ සිටි සහ වර්තමානයේ ජීවත්වන සියලු විද්‍යාඥයන් නයිට්‍රජන් සම්බන්ධව කරන ලද සොයා ගැනීම් අගය කළ අමාත්‍යවරයා නයිට්‍රජන් සොයා ගැනීමෙන් සියවස් ගණනාවකට පසු ශ්‍රී ලංකාව ද එම අභියෝගය ජය ගනිමින් සිටින බව සඳහන් කළේය.

“දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය පිළිබඳ ශ්‍රී ලංකාවේ අපේක්ෂාව COP 26 සහ ඉන් ඔබ්බට” යන මාතෘකාව ඔස්සේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා අදහස් දැක්වූ අතර එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ද අදහස් දැක්වූවාය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?