දේශීය

අයවැය සමග මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට

2022 වර්ෂයට අදාළ රජයේ අයවැය ලේඛනය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් අද (12) ප.ව.2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

2022 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 2505.3කට අධික වේ. විසර්ජන පනත අනුව 2021 වසරට සාපේක්‍ෂව 2022 වසරේ රජයේ වියදම බිලියන 33කින් අඩුකර ඇත. 2022 වසරේ පොදු සේවාවන් වෙනුවෙන් රජය රුපියල් බිලියන 12.6ක් වෙන්කර ඇත.

රාජ්‍ය ණය පොලී ගෙවීම පිණිස රු. බි.1001 ක් ද විශ්‍රාම වැටුප් හා ආබාධිත රණවිරු සුබසාධන ගෙවීම් සඳහා වන රු. බි.310 ක් වෛද්‍ය සැපයුම් සඳහා රු.බි.68 ක් මෙන්ම සහනාධාර වන සමෘද්ධිය සඳහා රු. බි.50 ක් , පොහොර සඳහා රු.බි.35 ක් සහ වෙනත් සහනාධාර සඳහා රු.බි.69 ක් ලෙස ප්‍රතිපාදන වෙන් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය එස්.ආර්.ආටිගල මහතා පවසයි.

ශ්‍රී ලංකාව දරුවාගේ ගැබෙහි සිට සුසානය දක්වා සහනාධාර සලසන රාජ්‍යයක් බව පෙන්වා දුන් භාණ්ඩාගාර ලේකම්වරයා, මෙවරද කිසිදු වෙනසකින් තොරව අධ්‍යාපනය ,සෞඛ්‍යය සහ මානව ප්‍රාග්ධනය සංවර්ධනය කිරීමෙහි ඉලක්කගත රජයේ ව්‍යාපෘති සඳහා වෙන් කර තිබෙන බව අවධාරණය කළේය.

2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් (07) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.2022 මුදල් වර්ෂයට අදාළ සේවා වියදම් ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම ඇතුළු කරුණු කාරණා සඳහා වන මෙම විසර්ජන පනත් කෙටුම්පත 2021 සැප්තැම්බර් 29 දින ගැසට් පත්‍රයේ පළ කිරීම සිදුවිය.

මේ අනුව 2022 ජනවාරි මස පළමු වැනිදා සිට 2022 දෙසැම්බර් 31 වනදා දක්වා වන කාලසීමාව තුළ සේවා වියදම් සඳහා රුපියල් දෙදහස් පන්සිය පස් බිලියන තුන්සිය හතලිස් හය මිලියන පන්සිය පනස් අටදහසක් වන ආණ්ඩුවේ වියදම්වලට අදාල පුනරාවර්තන සහ මූලධන වියදම් සඳහා අනුමැතිය ලබා ගැනීමට නියමිතය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ xvii පරිච්ඡේදය අනුව රාජ්‍ය මූල්‍ය පිළිබද සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතුවන අතර බදු නියම කිරීම, ඒකාබද්ධ අරමුදලින් හෝ ප්‍රතිපාදන සහිත වෙනත් සුදුසු අරමුදලකින් ලබා ගැනීම ඇතුළු කාරණා සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වේ.

අය වැය දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් මස 13 වැනි දින සිට 22දින දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේදී‍ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. අය වැය තෙවැනි වර කියවීමේ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 23 වැනිදා සිට දෙසැම්බර් මස 10 දා දක්වා පැවැත්වීමෙන් අනතුරුව අප්‍රේල් මස 10 වැනිදා පස්වරු 5.00ට අය වැය සඳහා වන අවසන් ඡන්ද විමසීම සිදු කරනු ලැබේ.

අයවැය විවාදය කාලසීමාව තුළ පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට රැස්වන අතර පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා විනාඩි 30 ක කාලයක් වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 05 ක් සඳහා වෙන්කර ඇත.

මෙම කාලසීමාව තුළ දෙවෙනිවර කියවීමේ විවාදය සහ කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව 10.00 සිට ප.ව 5.00 දක්වා පැවැත්වෙන අතර ප.ව 12.30 – ප.ව 1.00 අතර කාලය දිවා විවේකයට වෙන් කර ඇත.

මේ අතර ඡන්ද විමසීම් පැවැත්වෙන නොවැම්බර් 22 සහ දෙසැම්බර් 10 වන දින හැර විවාදය පැවැත්වෙන අනෙකුත් දිනයන්හිදී ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිතය.

අයවැය ජාතික රූපවාහිනියේ සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පස්වරු 1.30 සිට සජීවීව විකාශය කෙරෙන අතර ඊට සමගාමීව අනෙකුත් මාධ්‍ය වලද සජීවීව විකාශය කෙරේ.

මෙවර අයවැය විවාදය ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් සංඥා භාෂාවෙන් ද ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

අද දිනයේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කර ඇති අතර , පාර්ලිමේන්තුවට පැමිණෙන පිරිස් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලට( රැපිඩ් ඇන්ටිජන්) ලක් කිරීමටද නියමිතය.

දෙවැනිවර කියවීමේ විවාදය 2021.11.13 (සෙනසුරාදා)

(වෙන් කළ දින ගණන 7 යි) 2021.11.15 (සඳුදා)

2021.11.16 (අඟහරුවාදා)

2021.11.17 (බදාදා)

2021.11.19 (සිකුරාදා)

2021.11.20 (සෙනසුරාදා)

(දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 5.00 ට) 2021.11.22 (සඳුදා)

කාරක සභා අවස්ථාවේ විවාදය 2021.11.23 (අඟහරුවාදා)

(වෙන් කළ දින ගණන 16 යි) 2021.11.24 (බදාදා)

2021.11.25 (බ්‍රහස්පතින්දා)

2021.11.26 (සිකුරාදා)

2021.11.27 (සෙනසුරාදා)

2021.11.29 (සඳුදා)

2021.11.30 (අඟහරුවාදා)

2021.12.01 (බදාදා)

2021.12.02 (බ්‍රහස්පතින්දා)

2021.12.03 (සිකුරාදා)

2021.12.04 (සෙනසුරාදා)

2021.12.06 (සඳුදා)

2021.12.07 (අඟහරුවාදා)

2021.12.08 (බදාදා)

2021.12.09 (බ්‍රහස්පතින්දා)

(තුන්වැනිවර කියවීමේ ඡන්ද විමසීම ප.ව. 5.00 ට) 2021.12.10 (සිකුරාදා)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?