දේශීය

පසුගිය දින 14ක කාලය තුළ තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් මෙරටට පැමිණ නෑ – සංචාරක ඇමති

තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14ක කාලය තුළ මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛණ මගින් එය තහවුරු වන්නේ යැයි ඇමතිවරයා සඳහන් කරයි. කොළඹ (27) රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය.

ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය වෛරස හේතුවෙන් දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසටෝ සහ ස්වාසිලන්තයේ ගත වු දින 14 තුළ සංචාරය කළ මගීන්ට මෙරටට පැමිණීම (28) මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරිණි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත සිවිල් ගුවන් සේවා අධිකාරිය මේ බව අදාළ ගුවන් සමාගම වෙත දැනුම් දී තිබේ.

සංචාරකයන් හැර වෙනත් අය පසුගිය දින 14 තුළ මෙම රටවලින් මෙරටට පැමිණ ඇද්දැයි අදාළ අංශ සොයා බලන බවත් ඒ අනුව සෞඛ්‍ය අංශ ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි. අදාළ රටවල හැර සෙසු රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙරටට පැමිණීමට බාධාවක් නැති බව අවධාරණය කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා වීසා ලබාදීමේ දී ඔවුන් අදාළ රටවල සංචාරය කර ඇද්දැයි යන්න පරික්ෂා කෙරෙන බව ද පැවසුවේය.

ඉදිරියේ දී මෙරට පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරග ඇතුළු ජාත්‍යන්තර තරග ක්‍රීඩා වලට සහභාගී වන සහ එම තරග නැරඹිමට එන අය සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේදැයි මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා සඳහන් කළේ, පූර්ණ එන්නත්කරණයට ලක් වු අයට එම තරග නැරඹීම සඳහා මෙරටට පැමිණීමට හැකි බවයි. ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නේ ද සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරමින් ඔවුන්ගේ නිර්දේශ මත බව ද ඔහු පැවසුවේය.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල් කොවිඩ් තත්ත්වය යටතේ වුවද ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්, සම්මන්ත්‍රණ හා සමුළු සංවිධානය කරමින් සිටිති. මේ වන විට මෙරට ජනගහණයෙන් 90%කට ආසන්න පිරිසක් එන්නත්කර තිබේ. එහෙත් කොවිඩ් වලින් පරිස්සම් වීම සියලු දෙනාගේ වගකීමකි. එබැවින් සෞඛ්‍ය නිර්දේශ අනුව නව සාමාන්‍යකරණ වැඩපිළිවෙල යටතේ ජනතාව ආරක්ෂා කර ගනිමින් රට පවත්වාගෙන යාම ආණ්ඩුවේ අපේක්ෂාව බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?