Latestදේශීය

අසාද් සාලි නිදොස් කොට නිදහස්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වූ චෝදනා මත අත්අඩංගුවට ගෙන මාස 8කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.

අද (02) මෙම නඩුව කැඳ වූ අවස්ථාවේදී කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් එම තීන්දුව ලබා දී ඇත.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා පවසා ඇත්තේ, විත්තිකරු විසින් ජාතීන් හෝ ආගම්වලට පවතින සංහිඳියාව බිදී යන ආකාරයෙන් හා ජනතාව අතර ක්‍රෝධය වර්ධනය වන ආකාරයෙන් ප්‍රකාශ සිදුකර ඇති බව ඔප්පු කිරීමට පැමිණිලිකරුවන් අසමත් වී ඇති බවයි.

ඒ අනුව සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බැවින් විත්තිකාර අසාද් සාලි මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීන්දු කළේය.

ඉකුත් මාර්තු මස 09 වන දා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් “අපේ නීතිය අපිට.. ඔයගොල්ලන්ගේ නීතිය ඔයගොල්ලන්ට.. ඒවා හරි වැරදි බලන්නේ අපි.. කුරානයයි, හදිසියයි, ශර්යාවයි අපේ නීතිය නම් අපි ඒකට ගරු කරනවා මිසක් රජයේ නීතිය බලන්නේ නැහැ. කුරානයයි, නබිතුමාගේ හදිසියයි හැරෙන්නට වෙන නීතියක් අපට නැහැ” යනුවෙන් ප්‍රකාශයක් සිදුකර තිබූ බව නීතිපතිවරයා විසින් අසාද් සාලි මහතාට එරෙහිව ගොනුකළ අධි චෝදනා පත්‍රයේ සඳහන් කොට තිබුණි.

සිය සේවාදායකයා විසින් එකී මාධ්‍ය සාකච්ඡාව පැවැත් වූ බව හා එකී ප‍්‍රකාශ සිදුකළ බව පිළිගන්නා නමුත් ඔහු කළ ප‍්‍රකාශ විකෘති කොට මාධ්‍ය මගින් ප‍්‍රචාරය කිරීම නිසා ඔහුට රක්‍ෂිත බන්ධනාගාර භාරයේ සහ රැඳවුම් නියෝග මත සිටීමට සිදුවී ඇති බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත‍්‍රී ගුණරත්න මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය.

ඒ අනුව උක්ත ප්‍රකාශය තුළින් ආගමික කණ්ඩායම් අතර එදිරිවාදිකම් උත්සන්න කිරීමට ක්‍රියා කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා එල්ලකොට අසාද් සාලි මහතාට එරෙහිව චෝදනා දෙකක් යටතේ නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ එම අධිචෝදනා ගොනු කර තිබුණි.

මේ අතර අසාද් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන අයට එරෙහිව එලෙස නොතීසි නිකුත් කරමින් මහාධිකරණය නියෝග කොට ඇත්තේ පෙබරවාරි මස 21 දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.

විත්තිකාර අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින් ඉල්ලා සිටියේ එම නඩුවේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනා තම සේවාදායකයාට එරෙහිව ද්වේශසහගත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බැවින් ඊට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තිය යටතේ වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසයි.

ඒ අනුව අදාළ ඉල්ලීම සලකා බැලීම සඳහා අදාළ නඩුව යළිත් පෙබරවාරි මස 21 දින කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනා වෙත නොතීසි නිකුත් කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?